මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන විශාලතම ස්තූපය හා එය පාදක කර
ගනිමින් ගොඩනැගී ඇති ආරාම සංකීර්ණයෙහි කොටසක් විනාශ කර බෝග වගා කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාතේ කළ පුරාවිද්‍යා ගවේෂණයකදි 2018 වසරේදී මෙම ස්ථූපය සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදී මෙම ස්ථූපය ඩෝසර් කර තිබූ බව
පුරාවිද්‍යා නිලධාරීහු පවසති. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට යවා ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බව දැන දැනම ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත මේ වන විට එම ස්ථානයෙහි කිසියම් පිරිසක් වැටක් ගසා මිරිස්, මෑ, බටු වැනි ශාක වගා කර ඇතැයි පුරාවිද්‍යා නිලධාරිහු කියති.

මිටර් 32ක් පමණ විශ්කම්භයක් ඇති මෙම ස්තූපයට අමතරව ඉපැරණි ගොඩනැඟිලි හතක අවශේෂ හඳුනා ගත හැකි අතර ස්තූපයට නැගෙනහිරට වන්නට පිහිටි අවශේශ ගොඩනැගිලි කිහිපයක් ද දක්නට ලැබෙන බව වාර්තා වේ.විසිරී පවතින නටබුන් පරීක්ෂා කිරීමේදී මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ දෙක හා තුන සියවස්වලට අයත් වෙතැයි අනුමාන කළ හැකි බවත් ස්තූපයේ උතුරු දිශාවට වන්නට සිරිපතුල් ගල් දෙකක් සහ කැටයම් රහිත සඳකඩපහණක් දක්නට ඇති බවත් ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ ශිලා පුවරු, ස්තම්භ හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත් කර ඉඩමේ කෙළවරක ගොඩගසා තිබෙන බව පුරාවිද්‍යා ආරංචි මාර්ග කියයි.

ස්තූපයේ පේසා වළලු හා ගර්ෂයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වි ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිරී පවතී. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටි බඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිරි පවතින බව පුරාවිද්‍යා නිලධාරීහු කියති. මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.මණ්ඩාවල මහතා කියා සිටියේ ඩෝසර් කළ බව කියන මෙම ස්තූපයට අදාළ සිදුවීම පැරණි එකක් වන බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන හෝ එම ස්ථානයෙහි තත්වය හෝ තමන් නොදන්නා හෙයින් ඒ පිළිබඳව ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර නිලධාරින්ගෙන් වාර්තාවක් ලැබුණු පසුව යමක් පැවසිය හැකි බවයි.

-ලක්මල් කේ බදුගේ-