තම වැටුප් විෂමතා අහෝසි වන ආකාරයෙන් වැටුප් තලයන්හි පිහිටුවීමට රජය අපොහොසත්වීම නිසා ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය පෙරේදා (22දා) මධ්‍යම රාත්‍රියේ අවසන් කළද එම ඉල්ලීම ඉටුවන
තෙක් සෑම බ්‍රහස්පතින්දා

දිනකම මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වැඩ වර්ජනයක නියැළීමට දුම්රිය වෘත්තීය සමිතිය තීරණය කර ඇතැයි දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික ඉඩන්ගොඩ මහතා සඳහන් කරයි.

තම ඉල්ලීම් ඉටු කිරීමට මුදල් අමාත්‍යාංශය මන්දගාමී ක්‍රියාමාර්ගයක් ගන්නා බැවින් දුම්රිය වෘත්තීය සංගම් මෙම තීරණයට එළැඹි බව සඳහන් කරන ලේකම්වරයා තම ඉල්ලීම් ඉටු කිරීමට එරෙහිව වැරැදි අවබෝධයක් දුම්රිය ඉන්ජිනේරුවන් විසින් මුදල් අමාත්‍යවරයාට ලබාදීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයිද පෙන්වා දෙයි. දුම්රිය වැඩ වර්ජනයට පදනම්ව ඇති දුම්රිය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් දිමට රජයට මසක පමණ කාලයක් ගතවනු ඇති බැවින් මගී ජනතාව පීඩාවට පත් නොකර සේවයට වාර්තා කරන ලෙස දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළ බවද ප්‍රවාහන හා සිවිල් ගුවන්සේ අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

දුම්රිය රියදුරන් වර්ජනයේ නිරත වන අවස්ථාවල දුම්රිය රියදුරන් ලෙස යුද හමුදා සාමාජිකයන් එක්කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. එය ඉතා ඉක්මනින් සිදු කළ හැකි කාර්යයක් නොවන බවත් ඒ සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවත් හෙතෙම පැවසීය.

ඒ පිළිබදව මේ වන විටත් සාකච්ඡා සිදු කරන බවත් මීට පෙරද ඒ පිළිබදව සාකච්ඡා කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. අදාළ බලධාරීන්ගෙන් අවසර ලැබුණු විගස එය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඊට පෙර විධිමත් පුහුණුවක් යුද හමුදා සාමාජිකයන්ට ලබාදීමට නියමිතය.

-සුමන උදයන්ත-