මොරගහහේන, ගෝනපොළ, නාගහගොඩවත්ත පාර අසල පාළු ඉඩමකට දමා ගොස් තිබූ කල් ඉකුත්වූ ඖෂධ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි. කුඹුක ප්‍රදේශයේ පදිංචි මෙම ඉඩමේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව එම ඖෂධ තොගය සොයාගත් බව පොලිසිය කියයි.

වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ඇතිවූ දුර්ගන්ධයත් සමඟ විමසිලිමත් වූ ගම්වැසියන්ට ලොරි දෙකක ප්‍රමාණයකින් රැගෙන ආ බවට සිතිය හැකි මෙම කල් ඉකුත් වූ ඔවංශධ තොගය දැක ගැනීමට හැකි වී ඇත. 2019 පෙබරවාරි මාසයට කල්මුකුත් වූ මෙම ඖෂධ තොගය අතර පණු රෝගය සඳහා දෙනු ලබන මිලෙන් අධික ඖෂධයක් හා හෘද රෝගීන්ට දෙනු ලබන ඖෂධයක්ද ඇති බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂි වෛද්‍ය උදය රත්නායක මහතා පැවැසීය.

“ඖෂධ මෙලෙස බැහැර කිරීම නීති විරෝධියි. මේ පිළිබඳව කඩිනම් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා”
යනුවෙන්ද හෙතෙම පැවැසීය. මේ පිළිබඳව අදහස් දැක්වූ ගෝනපොළ මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ සභාපති කරුණාදාස මුණගම මහතා මෙසේ පැවැසීය.

“අපි දන්නේ නැහැ මේ ඖෂධ වර්ග භූමියට හෙළුවට පස්සේ පසට, ජලයට, ජීවින්ට මෙන්ම අවට ඉන්න මිනිසුන්ට කුමන විධියට බලපායිද කියලා. මේ දිනවල නිරතුරුවම වර්ෂාව පවතිනවා. මේ ප්‍රදේශය අඩි තුන හතරක් ජලයට යට වෙනවා. මේ ඖෂධ ප්‍රදේශයේ පානීය ළංවලට ව්‍යාප්ත වෙන්න පුළුවන්. අපි බලධාරීන්ගෙන් ඉතාම කරුණික ඉල්ලීමක් කරනවා අදාළ සමාගමට එරෙහිව ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා."

මෙම වසරේ ඉකුත් පෙබරවාරි හා මාර්තු යන මාසයන්වල මෙම ඖෂධවල කාලය ඉකුත් වී ඇති බවට එම ඖෂධ ඇසුරුම්වල සඳහන්ව ඇති බව ගම්වාසීහු පැවැසූහ. ඖෂධ තොගය දමා තිබූ ඉඩම වෙත හොරණ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයානි එදිරිසිංහ හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටී.ජී. ප්‍රසන්න කුමාර හා කුඹුක මහජන සෞඛ්‍ය පරික්ෂක ජී.ඩී.සී.පී. විදර්ශන මහත්ම මහත්මීන්  මෙන්ම මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතා ඇතුළු නිලධාරින් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

එම පාළු ඉඩමේ හිමිකරු වූ සම්පත් පනාගොඩ මහතාද එම ස්ථානයට කැඳවීමට කටයුතු කළහ. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය දීපානි එදිරිසිංහ මහත්මිය මෙසේ පැවැසුවාය."ඖෂධ තොගයක් මෙම ප්‍රදේශයේ වත්තකට
ගෙනත් දාලා කියලා දුරකථනය හරහා දැන ගන්නට ලැබුණා. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව දැක ගන්නට ලැබුණා ඒ වගේම තහවුරු වුණා කල් ඉකුත් වූ
ඖෂධ බවට”

“ඇල්බෙන්ඩෂොල් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පණු බෙහෙත් විශාල වශයෙනුත්, හෘද රෝගීන්ට මෙන්ම අධික රුධිර පීඩන රෝගීන්ට දෙන ඖෂධ විශාල වශයෙන් එම ස්ථානයේ ගොඩ ගසා තිබුණා. ඒවා හැරෙන්නට වෙනත් ඖෂධ බැලූ බැල්මට දකින්න නැහැ."

“මේ ආකාරයෙන් ඖෂධ පරිසරයට මුදා හරින්න කාටවත් බැහැ. ඒවාට නිසි ක්‍රමවේද තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න කියලා කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ය උදය රත්නායක මහතාගෙනුත් උපදෙස් ලැබුණා. ඖෂධ ඇසුරුම්වල කොළඹ ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව තියෙනවා. ඒ ඔස්සේ මූලික පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකර තියෙනවා.

ඒ සඳහා මොරගහහේන පොලිසියේත් සහාය ලබා ගන්නවා. මෙම ස්ථානයේ මේ ආකාරයෙන් ඖෂධ ගොඩ ගසා තිබීම පරිසරයට හානිදායක නිසා හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති සමඟ සාකච්ඡා කර මෙම ස්ථානයෙන් තාවකාලික ඉවත් කිරීමට පියවර ගන්නවා."

“මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉතා ඉක්මනින් කළුතර ප්‍රාදේශිය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂි වරයාට දෙනවා. එතුමා යටතේ ඉන්න විශේෂඥ මණ්ඩලයක් මගින් ඒ පිළිබඳ කටයුතු කරනවා."

කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂූ උදය රත්නායක මහතාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.

“හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් වාර්තාව ලද වහාම විශේෂ කටයුත්තක් සේ සලකා අවශ්‍ය පියවර ගන්නවා.”

-එම්.සී.පෙරේරා-