දැනට මාස දෙකකට පෙර පසුගිය අප්‍රේල් 21දා බෝම්බයක් රඳවා ගෙන පැමිණ සියදිවි හානි කරගෙන කටුවාපිටිය දේවස්ථානය තුළ පාස්කු ඉරු දින දිව්‍ය පූජාවට සහභාගි වී සිටි සැදැහැවත් විශාල ජනතාවකගේ ජීවිත හා දේපළ විනාශ කළ බෝම්බකරු වන අච්චිමොහොමඩ් මොහොමඩ් හස්තූන් යන අයගේ හිස කොටස
21 දින සවස 1.40ට පමණ අධිකරණයේ නියෝගයක් අනුව මිහිදන් කරන ලදී.

රජයේ වියදමින් අවසන් කටයුතු සිදුකළ මෙම අවස්ථාවේ කිසිදු ආගමික මෙහෙයක් නොපැවැත්වුණු අතර මියගිය අයගේ මවුපියන් හෝ ඥාතීන් කිසිවකුද සහභාගි වූයේ නැත. මිගමුව මහ නගර සභාවට අයත් ඒත්තුකාල ම‍ඤ්ඤොක්කා
හේන පොදු සුසාන භූමියේ කාත් කවුරුවත් නොමැති අය මිහිදන් කරන භූමි කොටසේ මෙම වළ දැමීම සිදුකරන ලදී.

මියගිය බෝම්බකරුගේ මව, පියා, සහෝදරයා පසුගිය 13දා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය හමුවේ පවත්වන ලද මහෙස්ත්‍රාත් පරීක්ෂණයට සහභාගි වෙමින් අධිකරණයෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මියගොස් සිටි අයගේ සිරුරේ හිස කොටස හඳුනා ගත් බවත් පවතින තත්වය මත එම ශරීර කොටස භාර නොගන්නා බව ප්‍රකාශ කරන ලදී.

අධිකරණයෙන් අසන ලද ප්‍රශ්නයකට මියගිය අයගේ මව නැවත පිළිතුරු දෙමින් තමන් අසනීපව දැනට මාස 10කට පමණ රෝහල් ගතව සිටින විට මේ මියගිය පුතා ඇයව බැලීමට රෝහලට පැමිණි බව පැවැසුවාය. එහෙත් එම දිනයෙන් පසුව කෙදිනකවත් නොපැමිණි බවත් දුරකථනයෙන් පමණක් කතා කළ බවත් වැඩිදුරටත් පැවැසුවාය.

විද්‍යුත් මාධ්‍යවලින් කටුවපිටිය දේවස්ථානයට බෝම්බ රඳවා ගෙන පැමිණි අයව පෙන්වන විට ඔහු තම පුතා බව හඳුනාගත්තා යැයි මවද පියාද සහෝදරයාද පිළිගත්හ. කාත් කවුරුවත් නැති අයෙක් මිය ගොස් සිටි අවස්ථාවක රජයේ වියදමින් එම අවසන් කටයුතු සිදුකළ යුතු බැවින් අඟුරුකාරමුල්ල ග්‍රාම සේවා නිලධාරි සහ මීගමුව ප්‍රාදේශිය ලෝකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි යන අය ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මෙම මිහිදන් කටයුතු සිදුවිය.

-බර්ටි වීරසිංහ-