උණවටුන රූමස්සල ජපන් සාම චෛත්‍යය අසල මුහුදේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ඊයේ (16) දහවල් මුහුදට වැටී මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

විනෝද ගමනකට සහභාගී වූ කණ්ඩායමක සිටි මොවුන් දෙදෙනා රූමස්සල නැරැඹීමට ගිය අවස්ථාවේදි මෙම අනතුර සිදුවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මහරගම ගල්කිස්ස පාරේ පදිංචි හසිනි ෆොන්සේකා නමැති 29 හැවිරිදි කාන්තාවක් සහ උණවටුන රූමස්සල පදිංචි 39 හැවිරිදි උමගිලියගේ බර්නාඩ් නමැති හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.

ඔහු පානදුර යුද හමුදා කඳවුරේ සේවය කළ බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර, හමුදා සෙබළාගේ සිරුර ඊයේ (16) සවස් වනතුරුත් සොයා ගැනීමට නොහැකි වූ බට පොලිසිය පැවැසීය.

මියගිය කාන්තාව සහ තවත් කාන්තාවන් දෙදෙනකු ද පිරිමියෙකු ද ඇතුළු සිවුදෙනෙකු මහරගම සිට මිතුරෙකු වන හමුදා සෙබළාගේ උණවටුනේ නිවෙසට ඊයේ (16) උදේ පැමිණ ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. පසුව ඔවුන් රූමස්සල සාම චෛත්‍යය අසල මුහුදට ගොස් තිබේ.  ඔවුන් එහි ගල්පරයක් මතට නැගී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී එකම රළ පහරක් වැදි පස්දෙනාම මුහුදට වැටී ඇත. එහිදි මහරගම සිට පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමියා දිවි බේරාගෙන ගොඩට පැමිණ ඇති අතර එක් කාන්තාවකට සහ හමුදා සෙබළාට දිවි බේරා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි.

කාත්තාවගේ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පත්වාගෙන යයි.


(උණවටුන . ඩී.ජී. සුගතපාල, කරාපිටිය. පි.ඩබ්ලිවි.කේ. ප්‍රේමතිලක ද සිල්වා සහ අහංගම සුමතිපාල දීයගහගේ)