2019 අයවැය මගින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යෝජනා කළ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. ඒ අනුව 2015.12.31ට පෙර විශ්‍රාම ලැබූ 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩි වීමේ වාසිය හිමි වේ. එහිදී
විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රු. 2,800 සහ රු. 20,000 අතර මුදලකින් වැඩි වනු ඇති අතර 2015 දෙසැම්බර් මස 31ට පෙර සේවයෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේකයන්ගේ විශ්‍රාම වැටුප් පැවැති විෂමතාව ඉවත් කිරීම හරහා එම විශ්‍රාමිකෙයන්ට සහන සැලසෙනු ඇති බව නිවේදනයේ සඳහන් වේ.


මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා හේතු වූයේ 2015 දෙසැම්බර් මස 31දාට පෙර හා 2015න් පසු වශයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දෙකක් යටතේ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම ගැනීමට සිදු වීමය. 2015 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර විශ්‍රාම ගිය අය සඳහා 05/2015 වක්‍රලේඛය ක්‍රියාත්මක වූ අතර ඉන් පසු විශ්‍රාම යන්නන් සඳහා ක්‍රියාත්මක වනුයේ 03/2016 චක්‍රලේඛයයි.

03/2016 යටතේ වන විශ්‍රාමිකයන් සඳහා 2020 දක්වා ක්‍රමානුකූලව වැටුප් සංශෝධන සිදු කෙරෙන අතර 2015 වැටුපට සාපේක්ෂව එම සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2020දී සියයට 107කින් වැඩි වනු ඇති බව එහි සඳහන් වේ. මේ අනුව, 2015.12.31 දිනට පෙර විශ්‍රාම ගිය කාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 2,800කින් පමණ ඉහළ යනු ඇති අතර කළමනාකරණ සහකාර පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුට රුපියල් 5,200ක පමණ විශ්‍රාම වැටුප් වැඩි වීමක් හිමි වනු ඇත.


මේ අනුව ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ විශ්‍රාම වැටුප රුපියල් 9,200කින් පමණ ඉහළ යන අතර විශ්‍රාමික පළමු ශ්‍රේ ණියේ හෙද නිලධාරි වැටුප රුපියල් 7,100කින් පමණ ඉහළ යයි. විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ වැටුප ඉහළ යන්නේ රුපියල් 4,200කිනි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකුගේ විශ්‍රාම වැටුප රුපියල් 16,000කින් පමණ ඉහළ යන අතර, 2015.12.31ට ප්‍රථම විශ්‍රාම ගනු ලැබූ අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප  රුපියල් 20,000කින් පමණ ඉහළ යනු ඇත.

-නිර්මාණි බණ්ඩාරණායක-