හොරණ නගරයේ මුල්‍ය ආයතනයකට ඊයේ (16දා) අලුයම වීදුරුව නඩා ඇතුළු වී රුපියල් කෝටි ගණනාවක මුදල් හා රන් ආභරණ සොරා ගැනීමට උත්සහා කළ පුද්ගලයකුට වෙඩි තබා අත්අඩංගුවට ගත් බව හොරණ
පොලිසිය කියයි. එම පුද්ගලයා සමඟ ඔහු පැමිණි යතුරුපැදිය, ග්‍රයින්ඩරයක්, යකඩ අඩු දෙකක්, කියත් තල දෙකක්, වයර් කෝඩි එකක්, විදුරු කපන කටරයක්, නියන් තුනක්, අත් ආවරණ හා සෙල්ලම් පිස්තෝලයක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් වෙඩි පහරින් තුවාල ලද සැකකරු හොරණ මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. හොරණ පොලිසියේ සවිකර තිබෙන මූල්‍ය ආයතන හා බැංකුවලට අයත් අනතුරු අඟවන නළාව ඊයේ (16දා) අලුයම නාද වීමත් සමඟ විමසිලිමත් වූ හොරණ පොලිසියේ
අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් රණවීර මහතා ප්‍රමුඛ නිලධාරීන් හොරණ - පානදුර මාර්ගයේ පිහිටා තිබෙන මූල්‍ය ආයතනය වෙත යෑමේදි එම තෙමහල් ගොඩනැඟිල්ලේ විදුලිය විසන්ධි වී තිබී ඇතැයි පොලිසිය කියයි.

අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් ගොඩනැඟිල්ල අවට නිරික්ෂණය කිරීමේදී ගොඩනැඟිල්ලේ එක් පැත්තකින් ඉණිමගක් තබා තිබෙන අයුරු දැක තවදුරටත් නිරික්ෂණය කිරීමේදී ඊට ඉහළින් වීදුරුව කඩා තිබෙන අයුරු දැක ඇතැයි පොලිසිය කියයි. පොලිස් පරික්ෂක අනිල් රණවීර මහතා ඇතුළු නිලධාරින් තිදෙනකු එම ඉණිමඟ දිගේ ඉහළ ගියද කඩා දැමුණු විදුරුව කවුළුවට ගොඩවීමට තවත් අඩි කිහිපයක් ඇති බැවින් වායුසමීකරණ යන්ත්‍රයේ හා එහි බටයක ආධාරයෙන් කවුළුවෙන් ගොඩනැඟිල්ල තුළට ඇතුළු වි අත රැඳි ජංගම දුරකථනයේ විදුලි පන්දමේ එළියෙන් ඒ තුළ පරික්ෂා කිරිමේදී පුද්ගලයකු ගිනි අවියක් එල්ල කරගෙන සිටි අයුරු දැක වහා ක්‍රියාත්මක වූ පොලිස් පරික්ෂක ඔහු අත රැඳි පිත්තෝලයෙන් සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ අනෙක් නිලධාරීන් දෙදෙනා සැකකරු මෙල්ල කර ගැනීමට සමත් වූ බව පොලිසිය කියයි.

සැකකරු පොලිස් නිලධාරින්ට එල්ල කර ඇත්තේ සෙල්ලම්
පිස්තෝලයක් බව පොලිසිය කියයි. තෙමහල් ගොඩනැඟිල්ලෙම මූල්‍ය ආයතනය පිහිටා ඇති බැවින් බිම් මහලින් ඒ තුළට ඇතුළුවීමට කිසිදු අවකාශයක් නොමැතිවීම නිසා සැකකරු මේ අයුරින් ඉණිමගක ආධාරයෙන් පළමු මහලට ගොස් සේප්පු තිබෙන බිම් මහලට පැමිණ සේප්පු අසලට යෑමේදි පොලිසියේ සවිකර තිබෙන අනතුරු ඇගවිමේ නළාව නාද වී ඇතැයි පොලිසිය කියයි. බිම් මහලේ සේප්පු හතරක රුපියල් කෝටි ගණනක මුදල්, රන් ආභරණ හා තවත් දේපොළ රැසක් තිබී ඇතැයි පොලිසිය කියයි.

අලුයම මූල්‍ය ආයතනය අසලට පැමිණි මෙම පුද්ගලයා බිම් මහලින් ගොඩනැගිල්ලට ඇතුළුවීමට නොහැකි වීමෙන් ඊට යාබදව තිබෙන නිවෙසක් අසල තිබූ ඉණිමගක් ගෙනවිත් ඒ සඳහා යොදා ගෙන තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා පොකුණුවිට පදිංචි 23 හැවිරිදි අයකු බවට ගෙන ඇත.
මොහු රැකියාව වශයෙන් සිසිටිවී කැමරා සවි කිරීම හා ශබ්දවාහිනි යන්ත්‍ර කුලී පදනම මත දිම සිදුකරන්නකු බව විමර්ශනවලදි අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. පොලිසිය තැබූ වෙඩි පහරින් ඔහුගේ දකුණු කකුලට තුවාල සිදුවී ඇතැයි පැවැසේ.

-එම්.සී.පෙරේරා-