අධිකරණයට අපහාස කරන ලදැයි මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති දෙවැනි පැමිණිල්ල සම්බන්ධයන් මාසයක් ඇතුළත චෝදනා පත්‍රය ඇතුළත් ආඥාව සකස් කර අධිකරණයට ඉරිපත් කරන ලෙස ශේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඊයේ(1) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පසුගිය නොවැම්බර් මාසයේදී ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද  මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට පත්කෙරුනු  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවට නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පැමිණිල්ල ඊයේ (12) කැඳවූ අවස්ථාවේදිය.

 මෙම පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන්
සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනීසිටි  අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා කියා සිටියේ විත්තිකරු මේ සිද්ධිය පිළිබඳව කනගාටුව පළකිරීමට සූදානම් යැයි ඔහුගේ නීතිඥවරයා ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළ නමුත් එසේ කනගාටුව පළකිරීමක් හෝ සමාව අයැදීමක් හෝ සිදුකළ  හැක්කේ මෙම සිද්ධියට අදාළව චෝදනා ගොනු කිරීමෙන් පසු බවය.

විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් පැමිණිල්ලට අඳාළව චෝදනා පත්‍රයක් ගොනු කිරීම සබන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව කරුණු දැක්වීමට තමන්ට  අවස්ථාවක් ලැබිය යුතු බවත් කියා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ අධිකරණය චෝදනා පත්‍රය ගොනු කිරිමෙන් පසු විත්තිකරුට ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මාසයක් ඇතුළත චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස නීතිපතිට නියෝග කළ අධිකරණය පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදාට කල් තැබීය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු  කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත් නොවැම්බර් මස පාරිලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත්  තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අසිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් විත්තිකරු කර ඇති ප්‍රකාශයක් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර  ඇති බවය.

 නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාද, විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆසිස් මුස්තාපා මහතාද පෙනී සිටියහ.

අධිකරණයට අපහාස කළ බවට මීට ඉහතදීත් රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් රන්ජන් රාමනායක  මහතා විසින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද එම පැමිණිල්ල ජුලි මස 29 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)