නිවෙසේ සිටම දුර ගමන් සේවා ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවාගෙන අදාළ බස් රථය පිටත්වන වේලාවට බස්
රථය වෙත ළඟා වීමට මගියාට හැකි වන ලෙස
නව ටෝකන් ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ නියාමන ආයතනය වන ජාතික ගමනාගමන කොමිෂන් සභාව පාරිභෝගික සේවාවන් පුළුල් කිරීමක් ලෙස මෙම ක්‍රමය හඳුන්වා දී ඇති බවත් ඉදිරියේදි මෙම ටෝකන් ක්‍රම ඔන්ලයින් සහ ජී.පී.එස්. (GPS) සම්බන්ධතා හරහා මගි ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ තුළ දිගු පෝලිම්වල සිට ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා කාලය කැප කිරීමට අවශ්‍ය නොවන බවත් පසුගිය දින ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණෙන පාරිභෝගිකයාට හඳුන්වා දුන් ස්වයං සේවා ටෝකන් ක්‍රමය මඟින්ද මෙම පෝලිම්වල ගත කිරිමට සිදුවන කාලය අවසන් වූ බවත් අමාත්‍යංශය පවසයි.

මෙම පියවර ගැනීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන බවත් ජනතාවට කාර්යක්ෂමව ගමනා ගමන පහසුකම් සැලසීම එහි අරමුණ බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.