කොළඹ නගරයේ සිදු කළ විශේෂ රථවාහන මෙහෙයුමකෙ දී මංතීරු නීතිය උල්ලංඝනය කළ රියදුරන් 582 කට පොලිසිය නඩු පවරා තිබේ. පෙරේදා(11) සවස පැය 2ක කාලය පුරා කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස්
අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

මෙම මෙහෙයුම සදහා පොලිස් නිලධාරින් 495 යොදවා ඇති අතර, සී.සී.ටී.වී. දර්ශන හා පොලිස් වාහනවල ඇති සී. සී.ටී.වි. දර්ශන මෙන්ම සිවිල් පොලිස් නිලධාරින්ගේ නිරික්ෂණය මත මෙම නඩු 
පවරා තිබේ. පසුගිය 10 වැනිදා සිට මංතීරු නීතිය දිවයින පුරා සෑම  නගරයකම ක්‍රියාත්මක කර ඇති අතර එයට අනුගත වීමට රියදුරන්ට සති 2ක කාලයක් ලබා දී තිබුණි. මේ කාලයේදී දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත් වූ අතර, එහි දී රියදුරන් හා පැදිකරුවන් දැනුවත් කරන වැඩසටහන් 2, 352ක් පවත්වා තිබේ.

මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරුට රුපියල් 2, 000ක දඩ  මුදලක් නියම කරන අතර, එය දින 14කින් ගෙවා දැමිය හැකිය. එසේ නොමැති වුවහොත් දින 28කින් දඩ මුදල මෙන් දෙගුණයක් ගෙවීමට  සිදු වනු ඇත. දඩ නොගෙවීමෙන් හෝ අධිකරණයේදී වැරදිකරු වුවහොත් පළමු වතාවට රුපියල් 2 000 - 2500ක මුදලක්ද, දෙවන  වතාවට වැරදිකරු වුවහොත් රුපියල් 3 500 - 10 000ක මුදලක්  හෝ තුන්වන වරට වරදකරු වුවහොත් 10 000 - 25 000ක මුදලක් ගෙවීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

-දිනුක මලින්ද හේරත්-