මෙම පොසොන් පොහොය  හොද ආරම්භයක් කර ගනිමින් බෞද්ධ ආගමික මධ්‍යස්ථානවලින් ආරම්භ කොට සියලුම විහාරස්ථාන, පල්ලි, කෝවිල් ඇතුලු ආගමික ස්ථානවලට පොලිතින්, සිලි කවර රැගෙන ඒමෙන්
වැළකීමත් ප්ලාස්ටික් වට්ටි, කෝප්ප, කළ ආදිය වෙනුවට ආදේශකවලට හුරු වීමත් සිදු කළ හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.
ඔවුන් ඒ ගැන වැඩිදුරටත් මෙසේ විස්තර කර තිබේ.

පොලිතීන් සහ ප්ලාස්ටික් අසීමාන්තිකව භාවිතා කිරීම සහ භාවිතයෙන් පසු නිසි පරිදි
බැහැර නොකිරීම අද වන විට
ශ්‍රී ලංකාවට උග්‍ර පාරිසරික ගැටලු ඇතිකර ඇත. විශේෂයෙන්ම මේ තත්ත්වය ගොඩබිම පරිසරයට පමණක් නොව ශ්‍රී ලංකාව වටා ඇති දර්ශනීය වෙරළ තීරය සහ සාගර පරිසරය ද දැඩි ලෙස විනාශ වීමට ද ප්‍රබලම හේතුවක් වී ඇත. දිවයින වටා ඇති සාගර පරිසරය දූෂණය වීමට හේතුවන ප්ලාස්ටික් පොලිතීන් ඇතුලු අපද්‍රව්‍ය 90% ප්‍රමාණයක් පැමිණෙන්නේ රට අභ්‍යන්තරයේ සිට බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි.

ගොඩබිම නිසි පරිදි බැහැර නොකරන පොලිතීන් ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය දිනපතා අතිවිශාල වශයෙන් ගංගා හරහා මහ සයුරට ගලාබසින අතර එමගින් දර්ශනීය කොරල් පර, මත්ස්‍යයන්, මුහුදු ජීවින් ඇතුලු සමස්ත ජෛව විවිධත්වය විනාශ වී සාගරය සහ
වෙරළ තීරය ද දැඩි ලෙස අපවිත්‍ර තත්ත්වයට පත්වේ.

එය සංචාරක හා ධීවර කර්මාන්තය හරහා මෙරට ආර්ථිකයට ද සෘජුවම බලපෑම් කරයි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ලෝකයේ ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය වැඩිපුරම සාගරයට නිකුත් කරන රටවල් අතරින් 5 වන ස්ථානයට පත්ව ඇති බවට සමීක්ෂණයකදී හෙලි වී ඇති බව අන්තර්ජාතිකව ද ප්‍රසිද්ධියට පත්විය.

මෙවන් තත්ත්වයක් තුළ මෙම ව්‍යසනයෙන් මෙම සුන්දර දිවයින බේරා ගැනීම සදහා ජනතාව ලෙස අපි සියලු දෙනාටම ජාතික වගකීමක් පැවරී තිබේ. එනම් හැකිතාක් ලාස්ටික් පොලිතීන් භාවිතය අවම කර ගනිමින් තැන තැන නොදමා නිසි ලෙස ඒවා බැහැර කිරීම පුරුද්දක් බවට පත්කර ගැනීමයි.