2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගය ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 87 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
ඒ, එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු හමුවේ ඉනිමක් ගොඩ නැගීම අපහසු බව පසක් කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රෙලියානු පිල තරගාවලී ලකුණු සටහනේ මුල්තැනට පත්වීමද කැපී පෙනෙන සිදුවීමකි.
ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය.

ඔස්ට්‍රේලියා ඉනිම අරඹමින් පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් සහ නායක ඒරන් ෆින්ච් පළමු කඩුල්ල සඳහා ගොඩනැගු සබඳතාව ලකුණු 80 ක්.

ඩේවිඩ් වෝනර් ලකුණු 26 කට දැවී ගිය අතර උස්මන් කවාජා ලකුණු 10 කට දැවී ගියේ ය.

අනතුරුව පිටියට පිවිසි ස්ටීව් ස්මිත්, නායක ඒරන් ෆින්ච් සමග එක්ව
ඔස්ට්‍රේලියා ඉනිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 173 ක්.

එම සබඳතාව වාර්තා අතරට එක්වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව මෙන් ම ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාව ද ලෙසයි.

සිය 14 වන එක්දින ශතකය සහ හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ නායක ඒරන් ෆින්ච් පන්දු 132 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 153 ක් රැස් කළේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයෙකු ඉනිමකදී රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය සමකරමිනි.

මීට පෙර එංගලන්තයේ ජේසන් රෝයි බංග්ලාදේශයට එරෙහිව පන්දු 121 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 153 ක් රැස් කර තිබුණි.

22 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ ස්ටීව් ස්මිත් ලකුණු 73 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳි සිටි ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 46 ක් රැස් කළේ ය.

ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛයාව 334 ක්.

එය ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා සහා ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවා ගෙන තිබේ.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල සඳහා ගොඩනැගු සබඳතාව ලකුණු 115 කි.

13 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 52 කට දැවී ගිය අතර සිය හොඳම එක්දින
ඉනිම ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න අවසනාවන්ත ලෙස ලකුණු 97 කට දැවී ගියේ සිය මංගල එක්දින ශතකය ද අහිමි කර ගනිමිනි.

ළහිරු තිරිමාන්න ලකුණු 16 යි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 205 කදී බිඳ වැටුණි.

මැද පෙළ ක්‍රීඩකයින්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණූ 42 ක් තුළ බිඳ වැටුනි.

ඇන්ජෙලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඉසුරු උදාන දුර්වල ලෙස සිය දායකත්වය ලබාදෙන විට දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 55 කට කඩුලු 4 ක් දවා ගත්තේ ය.

කේන් රිචඩ්සන් කඩුලු 3 ක් සහ පැට් කමින්ස් කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 247 ක් පමණි.

නොදැවී කඩුල්ලේ රැදි සිටි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ලකුණු 16 ක් රැස් කළේ පන්දු 30 කදීයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජය ගත් ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේ ය.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරගයෙන් පසුව පවත්වන නිල මාධ්‍ය හමුවට ඊයේ දිනයේදීය කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ පුහුණුකරුවෙකු සම්බන්ධ වූයේ නැත.