https://www.gossiplankanews.com/2019/06/pabawathie-murder.html
සර 40ක පමණ කාලයක් තිස්සේ සිට ඉතාලියේ ජීවත්වී එරට පුරවැසිභාවය ලබා සිටි 65 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මෙරටට පැමිණ සිටිදී ඇය ඝාතනය කර සිරුර පුළුස්සා දැමූ බව කියන 39 හැවිරිදි පුද්ගලයෙක් හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්
විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ ඝාතනය කර තිබුණේ විජේරත්න පබාවතී (65) නමැති ඉතාලියේ පුරවැසිභාවය ලබා වසර 40ක් පමණ කාලයක සිට එරට පදිංචිව සිටි තිදරු මවකි.
ඇයගේ දරුවෝ ද වසර ගණනාවක සිට ඉතාලියේ පදිංචිව සිටිති.
හඳුනාගත නොහැකි

ආකාරයට පිළිස්සී ගොස් තිබූ මෙම කාන්තාවගේ සිරුර හලාවත පොලිස් වසමට අයත් කොකොවිල පරපන්මුල්ල වැව් ඉස්මත්තේ තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය මාර්තු මස 2 වැනිදාය.

නාඳුනන කාන්තා මළ සිරුරක් වශයෙන් හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී එම කාන්තාවගේ දරු දෙදෙනකු ඉතාලියේ සිට මෙරටට පැමිණ මෙම සිරුර තමාගේ මවගේ බවට බැලූ බැල්මටම පෙනී යන බව පොලිසියට පවසා ඇත.
කාන්තා සිරුරෙන් ලබාගත් සිරුරු කොටස් හා දරු දෙදෙනාගෙන් ලබාගත් සිරුරු කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පිළිස්සී මිය ගොස් සිටි කාන්තාව එම දරු දෙදෙනාගේ මව බවට තහවුරු විණි යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තාව මගින් සහ පොලිසිය කරන ලද දීර්ඝ පරීක්‍ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාව මරා පිළිස්සීමට සම්බන්ධ බව කියන පුද්ගලයා හෙළිකරගෙන
පෙරේදා ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

හලාවත මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්.පී.වයි.ඩබ්ලිව්. හේරත් මහතාගේ උපදෙස් මත පරික්‍ෂණ පවත්වා සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සජිත් රත්නායක සහ උපපොලිස් පරීක්‍ෂක ගාමිණි වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
පෞද්ගලික බස් රථ රියැදුරකු ලෙස සේවය කරන 39 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි.
ඝාතනයට ලක් වූ පබාවතී

නමැති කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ අක්කරයක පමණ ඉඩමක හිමිකාරියක වන අතර ඇයගේ (පබාවතී) මිතුරියකගේ මාර්ගයෙන් හඳුනාගත් ඉන්දික (සැකකරු) නමැත්තාට ඉඩම බලා ගැනීමට දී තිබූ බව ද කියති.
ඉතාලියේ සිට මෙරටට පැමිණි කාන්තාව මෙම ඉඩමේ ළමා නිවාසයක් ඉදිකිරීමට ඉඩම බලාගැනීමට බාර දී තිබූ ඉන්දික නමැත්තා සමග සාකච්ඡා කර ඇති බව ඔහුගේ ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය විණි යැයි ද එම පොලිස් නිලධාරියා කීය.

ළමා නිවාසය ඉදිකිරිමට කතා කරගත් මෙම ඉඩම ඇටෝනි බලපත්‍රයකින් වෙනත් අයකුට පවරා තිබීම ගැන සහ පබාවතී ලක්‍ෂ 2 1/2ක පමණ මුදලක් සැකකරුගෙන් ලබාගෙන එම මුදල ආපසු ලබානොදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම ඇය මරා දැමීමට හේතු වී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙන බව ද පොලිසිය කියයි.
ඉතාලියේ සිට මෙරටට පැමිණ සිටි පබාවතී නමැති මෙම කාන්තාව දුම්මලසුරිය පොලිස් වසමට අයත් වැලිපැන්නේ සැකකරුගේ මිතුරකුගේ නිවෙසේ ලැගුම්ගෙන සිට ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පබාවතී නමැත්තියට අයත් ඉඩමේ අයිතිය ඇටෝනි බලපත්‍රයකින් සැකකාර ඉන්දික නමැත්තාට පවරා දීමට නීතිඥවරයකු මුණගැසීමට යාමට පසුගිය මාර්තු මාසයේ 1 වැනිදා සූදානම්ව ඇත. මේ අවස්ථාවේ ද දෙදෙනා අතර ඇති වූ ආරවුලකින් පසු ඇය ඝාතනය කර සිරුර ත්‍රිරෝද රථයක දමාගෙන වැලිපැන්නගහමුලේ සිට හලාවත කොකොවිල පරපත්මුල්ල වැව ඉස්මත්තට ගෙනැවිත් දමා සිරුරට පෙට්‍රල් වක්කර ගිනි තබා සැකකරු පළාගොස් තිබේ.

 වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ සිට කොකොවිල වැව් ඉස්මත්තට සිරුර ගෙන ඒම සඳහා යොදාගත් බව කියන ත්‍රිරෝද රථය ද සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පොලිසිය සොයා ගනු ලැබීය.
සැකකරු රැඳවුම් නියෝග යටතේ රදවා තබාගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හලාවත , ඔගස්ටින් ප්‍රනාන්දු)