අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව අමෙරිකානු රාජ්‍ය  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව රාජ්‍ය ලේකම්වරයාගේ ආසියා - පැසිෆික් සංවාරයේ එක් ගමනාන්තයක් වේ. රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ආසියා ශාන්තිකර කලාපයේ
සංචාරය කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව  පසුගිය 10 වැනිදා නිවේදනය කළේය. ඔහුගේ පළමු ගමනාන්තය වන්නේ ඉන්දියාවේ නවදිල්ලි  නුවරයි. මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ දෙරට සබඳතා ශක්තිමත් කිරීම එම චාරිකාවේ අරමුණ බව සදහන් වේ.


අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹට ළගා වන්නේ සංචාරයේ දෙවැනි ගමනාන්තය ලෙසය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනතාවට අමෙරිකා සහයෝගීතාව පළ කිරීමට ඔහු අපේක්ෂා කරන බව සඳහන් වේ. අමෙරිකානු - ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඉහළ දේශපාලන නායකයන් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් ඔහු ජපානයේ ඔසාකා නගරය බලා පිටත්ව යන්නේ ජී- 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහාය. මීට පෙර ශ්‍රී ලංකාවට අවසන් වරට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් පැමිණ ඇත්තේ 2015 වසරේ මැයි මාසයේ දී ය. ඒ ජෝන් කෙරී මහතාය.