ධුරයෙන් ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ රවුෆ් හකිම් යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ සඳහා වැඩ බලන අමාත්‍යවරුන් තිදෙනෙක් පත් කිරීමට ඊයේ (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

ඒ අනුව,
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඊයේ සිට නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් පත් කෙරිණි. එසේම කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය පත් කරනු ලැබ සිටී.