බාලාංශයේ සිට එකළොස් වැනි ශේ‍ර්ණිය දක්වා එකම නිවාඩුවක්වත් නොගෙන අඛණ්ඩව පාසල් යන දරුවකු
පිළිබඳව පදවිය ඩී. 10 ප්‍රදේශයෙන් වාර්තා වේ.

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයට අයත් අතිදුෂ්කර පාසලක් වන පදවිය බී. 10 මෛත්‍රිපුර
විද්‍යාලයේ 11 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා විශ්ව පැතුම් රණවීරය.

කෙතරම් ආර්ථික දුෂ්කරතා බාධක තිබුණත් පාසලට ඇතුළත් කළ දා සිට මේ දක්වාම නොනවත්වාම පාසල්
ගමනක යෙදෙන මේ දරුවා අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවෙහිද සුවිශේෂී දක්ෂතා දක්වා විද්‍යාලයට හා
ප්‍රදේශයට විශාල ගෞරවයක් හිමිකර දී ඇත.

පසුගිය වර්ෂවලදී ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් පැවැති තරගවලදී සිංහල භාෂාව හා කලාව,
සාහිත්‍යය යන අංශවලින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමටද මොහු සමත් වූ බව එම විද්‍යාලයේ
විදුහල්පති කේ.එල්. සුනිල් පුෂ්පකුමාර මහතා පැවැසීය.

2008 වසරේ පාසල් ගමන ආරම්භ කළ විශ්ව මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගයට සූදානමින් සිටී.
ඉකුත් වසර දහයකට අධික කාලය තුළ එම පාසලේ නිවාඩු සටහන් ලේඛනවල එකම නොපැමිණීමක්වත් සටහන්ව
නොතිබීමෙන් මෙම දරුවා අධ්‍යාපනයට කෙතරම් ඇලුම්කරනවාද යන්න පැහැදිලි වෙයි.

පදවිය - රත්න ඔබේසේකර