අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් මහා සංඝරත්නයට නින්දා අපහාස වන ලෙසින් ප්‍රකාශ කළ බැවින් විශේෂයෙන්ම එවැනි ප්‍රකාශයක් කළ අමාත්‍යවරුන් වන මංගල සමරවිර රාජිත සේනාරත්න මෙන්ම චතුර

සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොකැඳවීමට, ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (4) රාත්‍රියේදී තීරණය කළහ.

ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙන්  විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් 
විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.

ගම්පඟ සාම මහා විහාරස්ථානයේ පැවති  මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය, ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම්
තෝරපිටියේ ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

 තවද උන්වහන්සේ පැවසූවේ මෙම දේශපාලනඥයන් තිදෙනා ගම්පහ ප්‍රදේශයේ කිසිදු විහාරස්ථානයකට ආගමික හෝ වෙනත් කිසිදු උත්සවයක් සඳහා සහභාගි කර නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනුලැබූ මෙම තීරණය ඉදිරියේදී රටේ සියලු විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවය.

එසේම මෙහිදී රටේ සියලු ජාතීන්ට සාමුහිකත්වයෙන් පිළිගතහැකි සහ ක්‍රියාත්මක කළ හැකි පොදු නීති රීති මාලාවක් රට තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් පාලන තන්ත්‍රය තුළින් ඉදිරියේදී ඇති කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.