හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ  ශීඝ්‍රගාමී දුම්රියෙන් රඹුක්කන ප්‍රදේශයේදී වැටුණු බිරිය
බේරා ගැනීමට තැත්කළ සැමියාත් තුවාල ලබා පෙරේදා (09දා) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර
ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රත්නපුර ගොඩකවෙල වෑකන්ද
ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක හා ඇගේ සැමියා වන වැලිඔය උඩකොටස, හැටන් පදිංචි 30
හැවිරිදි පුද්ගලයෙකි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය,
අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ඇඟලුම්
ආයතනයක සේවය කරන අතර තරුණයා කඩවත ප්‍රදේශයේ රැකියාවක් කරන බව පොලිසිය කියයි. මොවුන්
දෙදෙනා පෙරේදා මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු බලා ආපසු කොළඹ දක්වා
එමින් සිටියදී දුම්රියේ විශාල මගී සංඛ්‍යාවක් සිටි නිසා ‍ෙදාරටුවක් අසල හිඳගෙන සැමියා සමඟ ගමන්
කරමින් සිට ඇත.

රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේදී නිදිමත නිසා තරුණිය ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසි වී ඇති
අතර ඇය බේරා ගැනීමට තරුණ සැමියාද දුම්රියෙන් පැන ඇති බව පොලිසිය කියයි. දුම්රියෙන් වැටුණු
තරුණියත් බේරා ගැනීමට පැනපු තරුණ සැමියාත් දෙදෙනාම තුවාල ලබා රඹුක්කන රෝහල වෙත ඇතුළත් කර
ඇත. පසුව ඔවුන් දෙදෙනා වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවා
තිබේ. තුවාලලත් දෙදෙනා මෑතකදී විවාහය ලියාපදිංචි කරගෙන ඇති බවත් තව මාස කිහිපයකින් ඔවුන්
දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදු කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය කියයි.

දමුණුපොළ - චමින්ද ජයලත්