දුම්රියේ වන අලි ඇතුළු සතුන් ගැටීම වැළැක්වීම සඳහා දුම්රිය මඟට ඉහළින් පාලම් සහ භූගත මාර්ග සැකසීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ මත එය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නියමු ව්‍යාපෘතිය හිගුරක්ගොඩ
සහ ගල් ඔය අතර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම කමිටුවේ ව්‍යපෘති ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා පැවසීය.

වැඩසටහන තුළින් අලින් ඇතුළු වන සතුන්ට දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කිරීම සදහා ස්ථාන තුනක් සහ දුම්රිය මාර්ගයට යටින් ගමන් කිරීම සඳහා ස්ථාන විසි එකක් හදුනාගෙන තිබේ.
වන අලින්ට ගමන් කළ හැකි අයුරින් එය මේ වන විට හැකි පමණින් සකස් කරගෙන ඇති අතර දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරට ලක්වන වෙනත් සතුන් ඉන් මුදා ගැනීමටද අවධානය යොමුව තිබේ.

වන සතුන්  පමණක් නොව, ගවයන් වැනි ගෘහස්ත සතුන්ද දුම්රිය මාර්ගය ඔස්සේ ඇතැම් අවස්ථාවල ගමන් කිරීමේදී අනතුරුවලට ලක් වූ අවස්ථා ඇති බවද ඒ මහතා පැවසීය.වන සතුන් දුම්රියේ ගැටීමෙන් දුම්රියට, වන සතුන්ට සහ ඇතැම් අවස්ථාවලදී ගොවීන්ට සිදුවන හානිය වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගනිමින් ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

-සුමන උදයන්ත-