පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් වසමේ තලාපිටි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන සිටින සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා ඇති බවත් මුස්ලිම් දේශයක් සඳහා ජීවිත පූජා කිරීමට
සහරාන් ඉදිරියේ දිවුරුම් දී ඇති අයකු බවත් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම සැකකරු ගාල්ල තලාපිටියේ පදිංචිව සිට බියගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයකු ලෙස රැකියාව කර ඇති අතර එයට අමතරව කුඩා ළමුන්ට ඉංග්‍රීසි පන්ති පැවැත්වීමද සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් පරික්ෂණ
පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක උදය සෙනවිරත්න මහතා පවසා සිටියේ සැකකරුගේ බිරිදගේ මල්වානේ නිවසේ පැවති සාදයකට සහරාන් සහ දෙහිවල බෝම්බය පුපුරුවා ගත් ජමිල් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි.

එම සාදයෙන් අනතුරුව බියගම උත්සව ශාලාවකදී ඔවුන් විසින් සම්මන්ත්‍රණයන්ද පවත්වනු ලැබ ඇතැයි ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. එහිදී ඔවුන් එක් දිනක පුහුණුවක් ලබා පසුව මාතලේ ස්ථානයකදීද දින දෙකක ආයුධ පුහුණුවක් ලබා ඇති අතර එයට විසිපස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇත.

සැකකරු මුස්ලිම් දේශයක් වෙනුවෙන් ජීවිත පූජා කිරීමට දිවුරුම් දී ඇති අයකු බවට මෙතෙක් කරන ලද පරික්ෂණවලදී අනාවරණය කර ගත් බව පැවසූ උදය සෙනෙවිරත්න මහතා වැඩිදුරටත්  කියා සිටියේ සැකකරු සහරාන් ගාල්ල ප්‍රදේශයටද කැඳවාගෙන පැමිණියේදැයි යන්න පිළිබදව තවදුරටත් පරික්ෂණ සිදු කරමින් පවතින බවයි.