සිවු හැවිරිදි පිරිමි දරුවකුට මත්පැන් පොවා දුම්වැටියක් කටේ ගැසු පුද්ගලයකු දෙණියාය පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන ඇත. දරුවාට මත්පැන් පෙවීම හේතුවෙන් දරුවාගේ ස්වභාවය අසාමාන්‍ය වීම නිසා දරුවාගේ මව බියට පත්ව ඇගේ ස්වමිරුෂයාට මේ බව දැනුවත් කර ඇත.

පසුව දරුවාගේ මව සහ පියා එක්ව දරුවා දෙණියාය රෝහලට ඇතුළත් කර තිබේ. දරුවා කිසියම් රෝගී තත්ත්වයක පසුවන බව පැවැසූ වෛද්‍යවරු
දරුවා මාතර මහ රෝහලට මාරු කර යවා ඇත.  මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ දෙණියායේ වත්තේ පදිංචි සිවු හැවිරිදි දරුවෙකි.

 නිවෙස ආසන්නයේ ඇති නිවෙසකට මෙම දරුවා ගොස් ඇත්තේ අලුත ඉපදී ඇති වසු පැටියා බැලීමට බව මවුපියෝ කියති. නිවෙසේ අයිතිකරු ඒ අවස්ථාවේ මෙම දරුවාට මත්පැන් පොවා බීඩියක් කටේ ගසා ඇත. මත්පැන් පෙවුණු දරුවාගේ තත්ත්වය අසාමාන්‍ය වීම නිසා බියට පත් මව පොලිස් හදිසි ඇමැතුම් ඒකකයටද දන්වා ඇත.

වහා එම ස්ථානයට පැමිණි පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශවාසීන් මේ  සැකකරුට පහරදී ඇතැයි එම ප්‍රදේශවාසීන් පවසයි. දෙණියාය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-උදය කුමාර රණවීර-