පියා දඩයමේ යන විට රැගෙන යන බෑගය තමන්ගේ පාසැල් බෑගය යැයි සිතා වැරදීමකින් එය රැගෙන පාසලට පැමිණි දැරියක උදෑසන පාසලට ඇතුළත් වීමට පෙර දෙමාපියන් සිදුකළ පරීක්ෂාවකදී එහි තිබී පතුරම් 04ක් හා
තියුණු ආයුධ දෙකක්  පසුගියදා (31දා) සොයාගත් බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය පවසයි.

ඉකුත් දා ඇති වු පාස්කු ප්‍රහාරයෙන් පසු පාසැල් අවට හා පාසැල් තුළට ඇතුළු වන සියලු සිසුන් හා ගුරුවරුන් පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණු අතර එහිදී මෙම පතුරම් හා ආයුධ
සොයාගෙන ඇත.

 ඒ සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසියට සිදුකළ දැනුම් දීමකට අනුව අදාල පතුරම් 04 සහ තියුණු ආයුධ දෙක පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ දැරියගේ පියා දඩයක්කරුවෙකු බවත්, පෙර දින රාත්‍රියේ දැරියගේ පියා දඩයමේ ගොස් නිවසට පැමිණ පතුරම් සහිත බෑගය මේසය මත තබා ඇති අතර, දැරියද පාසල් රැගෙන එන බෑගය ඊට සමාන එකක් වන බැවින් මේසය මත් තිබෙන්නේ තම බෑගය යැයි සිතා එය රැගෙන පාසලට පැමිණ තිබෙන බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 දැරියගේ පියා නීතිවිරෝධි ගිනි අවියක් ළග තබා ගැනීමේ වරදට හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සූරියවැව - නුවන් ජයසේකර