කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ්  ෂාෆි මහතාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කළ විමර්ශනයේ  දී කාන්තාවන් 421ක් සහ

වෛදවරුන් 32ක් ඇතුළු 540 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණස්කාර මහතා ඊයේ (06) පැවසීය.

මෙසේ ප්‍රකාශ ලබාගත් පිරිසට ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනකු, හෙදියන් 69
දෙනකු සහ රෝහල්  සේවකයන්

18 දෙනකු ඇතුළත් වන බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විට අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන වෛද්‍ය මෙහොමඩ් සාෆි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන පරිෂණයට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබිණ. ඒ අනුව එම කණ්ඩායම් විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගත ඇතැයි ද සඳහන් වෙයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය  මොහොමඩ් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය  නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ
වෙද්‍ය කමිටුවක් පත් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත  කුරුණෑගල මහේස්ත්‍රාත්  අධිකරණය නිකුත් කළ මෙම නියෝගය ප්‍රකාරව මේ වන විටත් එම විශේෂඥ වෛද්‍ය කමිටුව පරික්ෂණ ආරම්භ  කර ඇති බවත්, ඉදිරියේ දී අදාළ පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කරනු ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රභාශකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශ සම්බන්ධයෙන් සම්පිණ්ඩන වාර්තාවක් ලබන 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කර එම විර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ප්‍රසව හා නාරී වෛද්‍ය  මොමොමඩ් සාෆී  මහතා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

- නිමන්ති රණසිංහ -