මිනුවන්ගොඩ නගරයේදි ඉකුත් 13 වැනිදා රාත්‍රි සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක  මධුමාධව අරවින්දගේ සමීප මිතුරන් දෙදෙනකු ඊයේ (06දා) සවස මිනුවන්ගොඩ පොලිසියට පැමිණ ප්‍රකාශ ලබාදුන් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

රෝහණ තල්පාවිල සහ සරණ කරුණාරත්න යන නීතිඥ මහත්වරුන් සමඟ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ පෙනීසිටි කඩවත කිරිල්ලවල සහ රාගම, රාගමවතේ පදිංචිකරුවන් දෙදෙනකු මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව මෙසේ ප්‍රකාශ ලබාදී තිබූ අතර ගායන ශිල්පි මධුමාධව අරවින්දට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ

(06දා) පෙරවරු 10.30ට මිනුවන්ගොඩ පොලිසියට පැමිණෙන  ලෙස පොලිස් පණිවුඩයක් ලබාදුන්නද මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ පොලිසියට පැමිණ නොමැති බවද පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ නගරයේදි ඉකුත් 13 වැනිදා සිදුවූ කලහකාරී සිද්ධිය වන අවස්ථාවේ මධුමාධව අරවින්ද සහ ඔහුගේ සමීප මිතුරන් දෙදෙනකු සැකකටයුතු ලෙස මිනුවන්ගොඩ නගරයේ හැසිරෙන අයුරු නගරයේ පිහිටි බැංකු සහ වෙළෙඳසල ඇති ආරක්ෂිත කැමරාවල නිරික්ෂණයවිම හේතුවෙන් ඔවුන්ට මිනුවන්ගොඩ පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබූ අතර ඒ අනුව මධුමාධව අරවින්ද සමහ එදින (මැයි 13) මිනුවන්ගොඩ නගරයට පැමිණි දෙදෙනා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට  ස්වකැමැත්තෙන් පැමිණ පරික්ෂණ සිදුකරන එක් පොලිස් කණ්ඩායමකට ප්‍රකාශයක් ලබාදී පිටව ගිය බව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පැවැසිය.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේදී ලබාදී ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව  පරික්ෂණ කණ්ඩායම් නිලධාරිහු වැඩිදුරටත් පැවැසූහ.

-ටෝනි කේ.අතුකෝරල-