ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊයේ (18) ජාපානයේදී අත්සන් තැබීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් වසර 10ක කාලයක් සඳහා මෙම ගිවිසුම සඳහා එළඹීමට නියමිත අතර මේ යටතේ රැකියා අවස්ථා 10,000ක් පමණ ශ්‍රී ලාංකිකයන් හට හිමි වේ. මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්,
කෘෂිකර්මාන්තය, ධීවර හා ජලජීවි වගාව, ආහාරපාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉඩප්‍රස්ථා සැලසේ.

ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සඳහා ලබාදෙන අතර ඉන් 7 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි. ඉදිරියේදී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලාංකිකයින්ට ලබාදී එම පුහුණු ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම මෙම වැඩපිළිවෙළට ඇතුළත්ය. මෙමගින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන මට්ටම ජපානයේ මට්ටමටම උසස්වීමද මෙමගින් සිදු වේ.

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමි වීමත් සමගම ජපන් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් ඇති වීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසු
නොවන ලෙසත් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන සම්පුර්ණයෙන්ම ජපාන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමක් මගින් පමණක් ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


දිනුක මලින්ද හේරත්-