දියණියගේත් බෑනාගේත් දිගය අවසන් යැයි පවසමින් ඔවුන්ට ජීවත්ව සිටීමට තනාදුන් නිශ්චසේ ගඩොල් ගලවා දෙන ලෙස ඉල්ලා කාන්තාවක් පසුගියදා කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සහාය පැතු බව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකාර මහතා පැවැසීය.මෙලෙස කෑගල්ල මූලස්ථාන
පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සහාය පතා ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි.

කෑගල්ල පොලිසියට පැමිණ ඇති කාන්තාවගේ දියණිය බාලවයසේ සිටියදී ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත. දෙදෙනාගේ නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු තරුණියගේ
මව දෙදෙනාම විවාහ කරදී සිටියදී එකම නිවෙසේ ජීවත් විය නොහැකි බව පවසා දියණියත් බෑනාත් වෙනම ජීවත් වීමට කාන්තාවගේ ගෙවත්තේ නිවෙසක් ගොඩනගා ඇත.

ඒ අවස්ථාවේදී තරුණියගේ මව නව නිවෙසට අවශ්‍ය සිමෙන්ති ගඩොල් කැට 1200ක් මිලට ගෙන ඇත. නිවෙස තනා අවසන් කර යුවළ එම නිවෙසේ පදිංචියට ගොස් සිට ඇති අතර පසුව තරුණිය වෙනත් තරුණයෙක් සමග ඇති කරගත් අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මත ඔහු සමඟ පැන ගොස් තිබිණි.

නිවෙසේ තනිවම සිට ඇති බෑනාද පසුව වෙනත් තරුණියක් මීට දින කිහිපයට ඉහතදී එම නිවෙසට කැන්දාගෙන පැමිණ තිබිණි. පසුව තරුණියගේ මව නිවෙස තමාගේ යැයි පවසා අවස්ථා කිහිපයකදිම බෑනාගෙන් නිවෙස ගොඩනගා ඇති ගඩොල් ගලවා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද බෑනා සිය දියණිය අතහැර වෙනත් කාන්තාවක් නිවෙසට කැන්දාගෙන පැමිණීම සම්බන්ධයෙන් කාන්තාව කනස්සල්ලෙන් සිටින බවද පොලිසිය කියයි.

බෑනා නිවෙසේ ගඩොල් ගලවා නොදුන්නේ යැයි පවසා ඉකුත්තු ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කෑගල්ල මූලස්ථානය පොලිසිය වෙත පැමිණි බව පොලිසිය කියයි. එහිදී විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්ද්‍රසේකර මහතා කාන්තාවගේ ගැටලුවට ඇහුම්කන්දී පසුව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කිරීමෙන් පසු කාන්තාව පොලිසියෙන් පිටව ගිය බව අනාවරණය වෙයි.

-චමින්ද ජයලත්-