ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කල්මුණ ප්‍රාදේශීය නායකයා සමහ එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් සිවුදෙනකු අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් ලබාගත් තොරතුරකට අනුව කළ සොයාබැලීමකදී තව්හිද් ජමාත් සංවිධානයේ කල්මුණේ ෂියාම් ලෙස පෙනී සිටි කල්මුණ නායකයා පෙරේදා (19දා) රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් ලද තොරතුරකට අනුව ඊයේ අක්කරපත්තුව ප්‍රදේශයේ පාලමුණ ගම්මානයේ පාළු ඉඩමක කළ සෝදිසි කිරීමකදී ළිඳකට දමා තිබූ සිඩි තැටි තිස් එකක් සොයාගැනීමටද හැකි වී ඇති අතර
ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සෙසු ක්‍රියාකාරීන් පිරිස කල්මුණ ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සයින්දමරුදු වොලිවොරියන් සුනාමි නිවාසයකදී බෝම්බ පුපුරුවාගෙන මරණයට පත්වූ පිරිස සහ එහිදි තුවාල ලැබූ සහරාන්ගේ බිරිය නින්දවුර් කුලී නිවෙසේ සිට 26දා සවස සයින්දමරුදු කුලී නිවෙසට අතුරුමාර්ග ඔස්සේ කැඳවාගෙන පැමිණ ඇත්තේ කල්මුණ නායකයා වන ෂියාම් බව දැනට තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.

කල්මුණ සියාම් හම්බන්තොට පුහුණු කඳවුරේ පුහුණුව ලබා ඇති සාමාජිකයකුද වේ. කල්මුණ සියාම් ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳව වැඩිදුර විමර්ශන රාජ්‍ය බුද්ධි නිලධාරින් සමහ අම්පාර දිසාව භාර විශේෂ පොලිස් නිලධාරින් පිරිසක් විසින් ආරම්භ කර තිබිණි.


-ධනුෂ්කා දිල්හානි-