සිගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සිගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කාශ්‍යප රජ සමයේ සීගිරිය පැවති ආකාරය තාක්ෂණික සජීවීකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ. විනාඩි 15ක පමණ කාලයකදී ත්‍රිමාණ රූප සමග
සජීවීකරණ තක්ෂණය ඔස්සේ, සීගිරිය රජ දවසේ පැවැති ආකාරය දැක බලා ගැනීමට මෙන්ම ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ ඉදිරියේදී සීගිරියට පැමිණෙන සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාදීම සදහාත් සීගිරිය පිළිබදව නිසි අවබෝධයකින් යුතුව ගමන් කිරීම සදහාත් මෙය අත්හදා බැලීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරන බවය.

සීගිරියට මේ දිනවල පැමිණෙන බොහෝ දෙනෙකු සීගිරිය කෞතුකාගාරයට පැමිණි මෙම සජීවීකරණ අත්දැකීම දැක ගැනීම සදහා දැඩි උනන්දුවක් දක්වති. බටහිර දොරටුවේ සිට සීගිරි ගල මුදුනේ පිහිටි රජ මාලිගාව දක්වාම ඉපැරණි රජ දවස මෙහි නිර්මාණය කර තිබේ. සිංහ පාදය, සීගිරි බිතුසිතුවම්, දිය පොකුණු, සීගිරි අප්සරාවන් සහ ආරක්ෂක බලමුළු ස්ථාන මෙලෙස ත්‍රිමාණ රූප සජීවීකරණයෙන් ලෙස නිර්මාණය කර තිබේ.

මෙම නිර්මාණය කළ තාක්ෂණික නිලධාරීන් කියා සිටියේ සීගිරිය පිළිබදව වසර එකහමාරක පමණ කාලයක සිට අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සීගිරියේ පිහිටි වර්තමාන ගොඩනැගිලිවල උස, දිග සහ පළල පිහිටීම් ආකාරය සියල්ල අධීක්ෂණයෙන් පසු එම ක්‍රමවේදයට අනුව ඉපැරණි රජ මැඳුර ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවයි.


-කාංචන කුමාර ආරියදාස-