මුහුණ නිරාවරණය කර හිස පමණක් ආවරණය කළ මුස්ලිම් කාන්තාවන්ට පොදු ස්ථානවලදී, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලදී නොයෙක් බාධා කිරීම් හා අපහසුතාවලට මුහුණ දීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවට මේ වන විට සෘජු පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට විනය
ක්‍රියාමාර්ග ගන්නා ලෙස මේ සතිය

ඇතුළත සියලු රාජ්‍ය ආයතනවලට ලිපියක් මගින් දන්වා සිටින බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේ සහාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඊයේ (20) කළ විමසීමකදී පැවසුවාය.

ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි අවස්ථා නියෝග යටතේ පියවර ගෙන ඇති අතර ඒ අනුව මුස්ලිම් කාන්තාවන් අදින බුර්කාව සහ නිකාබය පමණක් තහනම් වන බවත් හිස පමණක් ආවරණය කර අදින හිජාබය ඔවුනට පැළඳිය හැකි බවත් ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය. නමුත් මහජනතාව නීතිය අතට ගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හිජාබය අදින මුස්ලිම් කාන්තාවන් නොයෙක් ආකාරයේ චෝදනා, අඩත්තේට්ටම්, අපහසුතාවන්ට ලක් වන බවත් එය ඔවුන්ගේ මානව හිමිකම් කඩ කිරීමක් බවත් ආචාර්ය දීපිකා උඩගම මහත්මිය කීවාය.

ඇය සදහන් කළ අන්දමට ප්‍රජාතන්ත්‍රවාදී රටක බහුවිධ සමාජයක ජීවත් වන මිනිසුන් එකිනෙකා පිළිබද  අවබෝධයෙන් ජීවත් විය යුතුය. ඒ අනුව සංස්කෘතික  විවිධත්වය අගය කළ යුතු අතර සියලුම ආයතනවල  ආරක්ෂක නිලධාරින්, නිලධාරින් ඇතුළු මහජනතාව  විනයක් ඇතිව සෑම පුද්ගලයෙකුගේම මානව  අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කටයුතු කළ යුතුය.

-නිර්මාණී බණ්ඩාරනායක-