ගල් වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් කිසියම් පුද්ගලයන් කිහිපදෙනකු අනවසරයෙන් වෙනත් පුද්ගලයන් අතට පත් කර ඇති බවත්, පාස්කු දින එල්ල වු ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාර සඳහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසනවා.

බලපත‍්‍ර ලාභින් වෙත නිතුක් කරන වෙඩි බෙහෙත් යම් ප‍්‍රමාණයක් වැරදි මාර්ග හරහා ත‍්‍රස්තවාදීන් අතට පත්ව ඇති බවට සැකයක් පවතින බවත් ඒ අනුව පරීක්ෂණ පැවැත්වෙන බවද නාවික හමුදාපතිවරයා කියා සිටියා.

පසුගිය දින වල දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් සොයාගත් වෝටර් ජෙල් , ඩෙටනේටර්,
සේෆ්ටි පියුස්, නැමැති පුපුරණ ද්‍රව්‍ය බොහොමයක්ම බලපත‍්‍ර ලාභීන් වෙත වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිකුත් කළ ඒවා බවට හෙළි ව ඇති බවද නාවික හමුදාපතිවරයා කියා සිටියා.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාපති වියිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

බලපත‍්‍ර ලාභීන් කිහිප දෙනෙක් ඔවුන්ට ලබාදෙන වෙඩි බෙහෙත් දැන දැන වෙනත් පුද්ගලයන් අතට ලබා දීමෙන් එම පුද්ගලයන් නීති විරෝධී ධීවර කටයුතු මෙන්ම වෙනත් කි‍්‍රයා සදහා භාවිතා කරන බවද නාවික හමුදාපතිවරයා සඳහන් කරනවා.

ගල් වලවල් වෙත නිකුත් කරන නියමිත වෙඩි බෙහෙත් ප‍්‍රමාණය නියම ආකාරයෙන් බලපත‍්‍ර ලාභීන් භාවිතා කර ඇති ද නැතහොත් වෙනත් පිරිස් අතට පත් කර ඇති ද යන්න තොරතුරු සොයා බැලිය යුතු බවද එසේ සොයා නොබැලීමෙන් මෙවැනි කි‍්‍රයා සිදුවිය හැකි බවද හෙතෙම අවධාරණය කළා.

මෙම තත්ත්වය වලක්වා ගැනීමට දිස්ති‍්‍රක් වෙඩි බෙහෙත් පාලන නිලධාරීන් ඒ ඒ ගල් වලවල් වෙත ගොස් නිත්‍යයුකූලව ලබා දී ඇති වෙඩි බෙහෙත් කොපමණ ප‍්‍රමාණයක් භාවිතා කර ඇති ද , ඉතිරි ප‍්‍රමාණය සන්තකයේ තිබේද යන්න සොයා බැලිය යුතු බවද නාවික හමුදාපතියවරයා කියා සිටියා.

නාවික හමුදා බලපත‍්‍රලාභීන්ට පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී ඒවායේ ලොට් අංකයක් හා අංකය සදහන් කරන බවත් ඉදිරියේ දී මෙහහෙයුම් වලදී අල්ලාගත් වෙඩි බෙහෙත් වල එම ලොට් අංක හෝ අංකය සඳහන්ව තිබුණහොත් එම බලපත‍්‍ර ලාභියාගේ බලපත‍්‍ර අවලංගු කරන බවද නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.