පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්‍රය  නැවත නගා සිටුවීමේ අරමුණින්, සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් විසින් ලබාගෙන ඇති ණය සහ පොලිය ගෙවීමට සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඊයේ (7)
මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. මෙම සහන කාලය 2020 මාර්තු 31 වැනිදා දක්වා ලබාදීමට සියලුම බැංකු සමග සාකච්ඡා කර ඇති බවත් බැංකු හරහා ණය සහන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එසේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංචාරක ක්ෂේත්‍රය නැංවීම සඳහා 'ජයඉසුරු' හා
'හරිත ණය' යෝජනා ක්‍රම දිගටම ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සංචාරක ක්ෂේත්‍රය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය  යටතේ රුපියල් බිලියන 15ක් ලබා දී ඇති අතර එම ණය සඳහා ණය සහන කාලයක්ද ලබා දීමට නියමිතය. දැනට පවතින ණය යෝජනා ක්‍රමවලට අමතරව ද්‍රවශීලතාව ආරක්ෂ කර ගැනීමට, ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධනය සඳහා ණය ලබාදීමටද තීරණය කර තිබේ. එම ණය සඳහා වසර දෙකක ණය සහන කාලයක් සහ  සියයට 75ක පොලී සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. පොලී සහනාධාරයත් සමග ගෙවිය යුතු පොලී ප්‍රතිශතය සියයට 3.4කි.

එසේම සංචාරක ව්‍යාපාරය සදහා එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 5 දක්වා අඩු කිරීමටද 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට 2020 මාර්තු මාසය දක්වා වන වසරක කාලයක් සඳහා එම බදු සහනය ලබාදීමටද නියමිතය. එසේම සියලුම අංශ සඳහා 2019 මාර්තු 07 වැනිදා සිට ආරක්ෂක උපකරණ ආනයනය කිරීමේදී ජාතිය ගොඩ නැගීමේ බද්ද හැර අනිකුත් බදුවලින් නිදහස් කිරීමටද කටයුතු යොදා ඇති බව  වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය  අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.


-රසිකා හේමමාලි-