සෑම දුර ගමන් සේවා බස්රථයකටම ඉදිරි මාස තුන ඇතුළත ජී.පී.එස්. තාක්ෂණය හඳුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලවාරච්චි මහතා පැවැසීය. ප්‍රවාහන අමාත්‍යවරයාගේ
උපදෙස් මත ක්‍රියාත්මක
මෙම ව්‍යාපෘතිය මගින් බස්රථ රියදුරන්ගේ විනය ආරක්ෂා කිරීම, අපරික්ෂාකාරිව අධික වේගයෙන් රිය පැදවීම පාලනය කිරීම යනාදිය පිළිබඳ විමසිලිමත් විය හැකි බව සභාපතිවරයා පැවැසීය. මෙම ව්‍යාපෘතිය යටතේ දුර ගමන් සේවා බස්රථ 4,000කට පමණ ජී.පී.එස්. තාක්ෂණය හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

අධිවේගී මාර්ගවල සහ සුබෝපභෝගී බස්රථවලට මේ වනවිටත් මෙම තාක්ෂණය හඳුන්වා දී ඇත. ජී.පී.එස්. තාක්ෂණය සවි කර ඇති බස්රථ අධික වේගයෙන් ධාවනය වන්නේ නම් නාදයක් නිකුත් වන අතර පැය 24 පුරාම සියලුම බස්රථ එකම ස්ථානයක සිට නිරික්ෂණය කිරීමේ හැකියාවක් පවතී. එසේම අධික වේගයෙන් යන බස්රථ සම්බන්ධයෙන් සියලු තොරතුරු පටිගත වන බැවින් බස්රථ බලපත්‍ර අලුත් කිරීමේ දී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් වාර 6ක් හෝ 7ක් අධික වේගයෙන් ධාවනය කර ඇත්නම් බලපත්‍ර ලබා දීමේ දී ලකුණු අඩු කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලවාරච්චි මහතා පැවැසීය.

-සුමන උදයන්ත-