ගත වූ දින දහයක කාලසීමාව තුළ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධවත්, නැවත මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීම සදහාත් ඊට වගකිවයුත්තන් සෙවීම සදහාත් ගත යුතු සෑම පියවරක්ම ගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) පාර්ලිමේන්නතුවේදී පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ
යෝජනාවේ විවාදයට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය. සිංගප්පූරුවේ සිටින විට සමාජ මාධ්‍යවල ලිපියක් සැරිසරන බව දැනගන්නට ලැබුණා.

ඒ ලිපිය දුටු විට සිදුවීමට පෙර ආරක්ෂක අංශවලට වාර්තාවී තිබුණු බව පෙනී ගියා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති පරික්ෂණ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කළා. ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නා. 22 උදේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වුණා. එදා ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. මේ පිළිබඳ මූලිකව කළ යුතු කාර්යයන් ගැන උපදෙස් දුන්නා. ඉන්පසුව සර්වපාක්ෂික සමුළුවක් කැදෙව්වා. මා ආරාධනා කළ සියලු දෙනාම පැමිණියා. පැමිණි සියලු දෙනාට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. සර්ව ආගමික නායකයන් සෑම කෙනෙක්ම කැදවා උන්වහන්සේලාගේ ආරක්ෂක ප්‍රතිසංවිධානය ගැන උපදෙස් ලබාගත්තා.

අප්‍රේල් 26 වැනිදා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානින් කැඳෙව්වා. තත්ත්වය ගැන පහැදිළි කළා. මාධ්‍ය වගකීම හා සදාචාරය ගැන කරුණු පැහැදිලි කළා. අප්‍රේල් 29 වැනිදා බරපතළ ලෙස බලපෑමට ලක් වූ සංචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරිකයන් කැදවා සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කර එකඟතාවට එළැඹුණා. ආඩුකාරවරු 9 දෙනා කැදෙව්වා. ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඒ අයට පැහැදිලි කළා. පාසල්වල ආරක්ෂාව පිළිබදව ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරින් සමග කටයුතු කිරීමේ වැදගත්කම පිළිබදව උපදෙස් දුන්නා. මැයි දෙවැනිදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු හමුදාපතිවරුන්ගේ අදහස් ඇතුළත් වාර්තාවක් මා වෙත ලබා දුන්නා. මැයි 06 වැනිදා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය කැඳවා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර සහන ගැන සාකච්ඡා කළා.

මේ සියලු රැස්වීම් මම තනිව කළ රැස්වීම් නොවෙයි. මුළු කැබිනට් මණ්ඩලයටම ආරාධනා කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා. කාදිනල්තුමාට ආරාධනා කළා. විද්වතුන් නායකයන්, විද්වතුන් ආරක්ෂක මණ්ඩලයට වරින් වර කැඳවා තිබෙනවා. පෙරට වඩා වෙනස් ව්‍යුහයක් ඇති කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන තනතුරු වෙනස් කළා. ආරක්ෂක විධිවිධාන පිළිබදව ප්‍රධාන වෙනම මෙහෙයුම්  මධ්‍යස්ථානයක් ඇති කළා. ආරක්ෂාව පිළිබඳව සතුටු විය හැකි තැනක සිටිනවා. මේ ප්‍රශ්නය පිළිබදව අසාධාරණ ලෙස විවේචනයෙන් කතා කරන අය ජාත්‍යන්තර ත්‍රස්තවාදය ගැන අනවබෝධයෙන් කටයුතු කරන අය කියලයි සිතන්නේ. ආරක්ෂක හමුදාව සාර්ථකව මෙහෙයුම් සිදුකර තිබෙනවා.

සැකකරුවන් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 12ක් ප්‍රබල ත්‍රස්තවාදීන්. ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ සේෆ් හවුස් 13ක් සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කර තිබෙනවා.දේපළ වත්කම් සියල්ල රාජසන්තක කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. පරික්ෂණ කටයුතු ඉතා සර්ථක  තැනක තිබෙනවා. ලෝකයේ සෑම රටකටම වාගේ මේ ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කොට තිබෙනවා. අපි අවුරුදු 30ක් බෝම්බ එක්ක ජීවත් වූ පිරිසක් කියන එක අමතක වෙලා. මේ රටේ අතීතයත් අන්තර් ජාතික දේශපාලනයත් සැලකිල්ලට ගැනීම මෙවැනි කාරණයකදී වැදගත් වෙනවා. ජනාධිපතිවරු පස් දෙනාගෙම කාලයේ බෝම්බ පිපිරුණා. ඒව අමතක වෙලා. අපි ගෝලීය ත්‍රස්තවාදය ගැන කතා කරන විට මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බව මූලික වශයෙන් තේරුම්ගත යුතු වෙනවා.

මේ ත්‍රස්තවාදී නායකයා මියගියා කියලා දියුණු බුද්ධි අංශ හිතුවා. මේ නායකය වසර හතරකට පසුව නැගිට්ටාම ඒ අය පුදුමයට පත් වුණා. මේ රටට පැමිණ සිටින බුද්ධි විශේෂඥයන්  මා හමු වුණි. ඔවුන් ලොකු තැතිගැන්මකට පත්වෙලා. මියගිය නායකයා එළියට පැමිණීම ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා. මෙවැනි තත්වයන් අප සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත් වෙනවා, මේ ත්‍රස්තවාදය ව්‍යාපාරයේ අකුරු දෙක හෝ හතර රාජ්‍ය නායකයෝ පාවිච්චි කරන්නේ නෑ. මමත් කිසි තැනක ඒ අකුරු පාවිච්චි කළේ නෑ. මේ ව්‍යාපාරයේ ඇත්තේ බටහිර චින්තනයට විරුද්ධව එල්ල කරන ඉලක්කයක්. ඔවුන් උතුම් කුරුසයට විරුද්ධව යුද්ධ කරනවා. මේ තත්වය තේරුම්ගත යුතු වෙනවා.

ත්‍රස්තවාදී ව්‍යාපාරයේ සැම කෙනෙක්ම විනාශ කළ යුතුයි. අපේ වගකීම වන්නේ කුමක් ද? සියලු දේශපාලන නායකයන්ගේ , සියලු බෞද්ධ හින්දු ඉස්ලාම් නායකයන්ගේ වගකීමක් වෙනවා. මුස්ලිම් පවුල්වල බයෙන් ඉන්නවා කුපිත වෙල පහර දෙයි කියලා. ජනතාව සන්සුන් කිරීම සඳහා මාධ්‍යට තිබෙනවා පුළුල් වගකීමක් හා කාර්යභාරයක්. එවැනි ප්‍රවෘතිවලින් බියට පත්වෙනවා. සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ පුදුමසහගත
විදියටයි. මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදී ව්‍යාපාරයට තල්ලු කරනවද? 83 කළු ජූලිය නිසා දෙමළ ජනතාවගේ වත්කම් විනාශ වුණා.  දෙමළ තරුණයන් එල් ටී ටී ඊයට ඇදී ගියා. සිංහල දෙමළ මුස්ලිම් ජනතාවන්ගේ සැක බිය නැති කිරීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කරන්න.  සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලීමක් කරනවා.

දෙමළ ජනතාව දෙස එදා බැලූ ආකාරයට මුස්ලිම් ජනතාව දෙස බලන්න එපා. අපට ස්ථිර සාමයක් ඇති කරගන්න පුළුවන්. ජනතාව නොමග යැවීම් අසත්‍ය ප්‍රචාර නිසා මුස්ලිම් ජනතාවට බියක් ඇති වුණොත් ඒ අය මේ ව්‍යාපාර වෙත ඇදී යනවා. මුස්ලිම් තරුණ පිරිස ආරක්ෂා කරගත යුතුයි. මුස්ලිම් ජනතාවටත් ආරක්ෂාව දෙනවා කියන එක ඒ අයටත් තිබෙන්න ඕන.  කරුණු සැලකිල්ලට ගෙන කටයුතු කරනවා වගේම මේ තත්වය ගැන එක්ව ක්‍රියා කිරීමේදී ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ගැන විශ්වාසයක් තැබිය යුතුයි. ඒ අයට බලතල ලබාදී තිබෙනවා. හමුදාවට සියලු බලතල දී තිබෙනවා, මා ළග ඉතිරි වූ බලයක් නෑ. බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරනවා. ආරක්ෂක අංශ හා පොලිසිය ප්‍රතිසංවිධානය කරගෙන යනවා. මේ රටේ ජනතාව බිය විය යුතු නෑ. ආරක්ෂක හමුදාව හොද ප්‍රතිඵල ලබා දී තිබෙනවා. සියයට සියයක් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේ හැකි වෙනවා.

ත්‍රස්තවාදය ගැන කාටවත් කියන්න බෑ. බලවත් රටවලට ඒවා වළක්වා ගන්න තිබුණා. කිසිම තැනක අඩුපාඩු නොවන උපරිම දේ කරනවා. මේ ප්‍රශ්නය තුළ කළ හැකි උපරිම දේ කරනවා. රටේ ජාතික සමගිය සංහිදියාව ශක්තිමත් කරගත යුතුයි. සභාව තුළත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙහි බැරෑරුම් තත්වය තේරුම් ගන්න කියලා. එය අපේ සැම කෙනෙකුගේම වගකීමක්. අපට දේශපාලනය කරන්න රටක් තිබෙන්න ඔන. අත්වැල් බැදගෙන සමගියෙන් මේ කටයුත්ත කරන්න ඕන. සැම කෙනෙක්ම එකට එකතුවෙලා මේ තත්වය තේරුම් ගෙන මේ රටේ නිදහස් සතුටින් ඉන්න සමාජයක් ගොඩනගන්න නිදහස් පරිසරය හදන්න සියලු දෙනාම අත්වැල් බැඳගත යුතුයි කියලා සෑම කෙනකුගෙන්ම ඉල්ලා සිටිනවා.