ජාතින් අතර අසමගිය වෛරය ඇතිකරවන සහ ජනතාව බියට පත්වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා  ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ අරමුණින් විශේෂ විමර්ශන
ඒකකයක් පොලිස් මූලස්ථානයේදී ඊයේ (13)
පිහිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසිය.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් කවුරුන්ද යන්න ගැන සොයා බැලීම මෙම විමර්ශන ඒකකය මගින් සිදු කරන අතර ඉදිරි පියවර ගැනීම සදහා අදාළ ඒකක වෙත අවශ්‍ය තොරතුරු ලබාදිමද එමගින් සිදු කෙරේ.

එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාර නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරිම සහ එවැනි ප්‍රවාර අනෙක් පුද්ගලයන්ට, යැවීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැනට පවතින හදිසි අවස්ථා රේගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම මගින් වසර 3 සිට වසර 7 දක්වාද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වසර 10 දක්වා සිර දඬුවම් නියම වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.