කල්මුණේ, සයින්දමරුදු, නිවෙසක් තුළදි මරාගෙන මැරුණු දසදෙනකුගේ භූමදාන කටයුතු ආගමික වතාවත්වලින් තොරව ඊයේ (02දා) දින සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්
ගුණසේකර මහතා සඳහන් කළේය.
එනමුත් එම පිපිරීමෙන් මිය ගිය කුඩා දරුවන් හයදෙනාගේ භූමදාන කටයුතු ඉස්ලාම් ආගමික වතාවත්වලින් අනතුරුව සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

කල්මුණේ ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ සහ ආගමික සංවිධානවල උපදෙස් මත ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ දසදෙනාගේ අවසන් කටයුතු මෙලෙස ආගමික වතාවත්වලින් තොරව සිදු කළ බවද හෙතෙම කියා සිටියේය. පාස්කු ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ එම ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුද මෙම පිපිරීමෙන් මියගියහ.
මියගිය අයගේ සිරුරු කොටස් වෙනවෙනම පාර්සල් කර නැවත අවශ්‍යතාවයක් වෙතොත් ලබාගනීමට හැකිවන පරිදි වෙන් වෙන් ස්තානවල තැන්පත් කර භූමිදාන සිදුවිය.