https://www.gossiplankanews.com/2019/05/saharan-second-attack-with-women.html#more
සුගිය 21 වනදා සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඒ උණුසුමේම තවත් ත්‍රස්ත ප්‍රහාරයක්  සිදු කිරීමට සහරාන් සැලසුම් කර තිබූ බවත් එය කාන්තාවන් යොදාගෙන සිදු කරන්නට සැලසුම වූ බවත් මේවනවිට පොලිසිය සිදුකරන පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. දෙමටගොඩදී හා සයින්දුමරුදුහිදී මරාගෙන මැරුණ ත්‍රස්ත භාර්යාවන් මෙම දෙවන ප්‍රහාරකයින් වීමට සූදානමින් සිටි නමුත්
ඔවුන් අනපේක්ෂිත ලෙස කොටුවීම නිසා සැලසුම පැත්තකට දමා සියදිවිනසාගන්නට ඔවුනට  සිදුවී ඇත.
ලැබී ඇති ආරංචි අනුව කතෝලික පල්ලි ආක්‍රමණයකට පෙර සහරාන්ගේ සැලසුම වී තිබුනේ ලංකාවේ පළාත් 9 ක ස්ථාන 9 ක් ඉලක්ක කර ප්‍රහාර දියත් කරන්නට බවත් පසුව සංවිධානයේ ඇතිවූ මතභේද නිසා සහරාන්ගේ පිරිස දෙකඩවීමට ලක්වී මෙම සැලසුම වෙනස්ව ගිය බවත් වාර්තාවේ.

සහරාන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට අවසානයට ඉතිරි වී සිට ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් පවුලත් කාතන්කුඩියේ සහ කල්මුණේ කණ්ඩායමත් පමණි. ඒ අය අතර වැඩිම

නියෝජනයක් තිබී ඇත්තේ සහරාන්ගේ පවුලේ සාමාජිකයන්ගේය. කල්මුණේ සයින්දුමරුදු සුනාමි ගම්මානයේ නිවසක් තුළ මරාගෙන මැරෙන වැඩි දෙනෙක් සහරාන්ගේ පවුලේය. සහරාන් ප්‍රතිකේෂ්ප කරමින් නව නායකත්වයක් වටා රොක්වූවන්ගෙන් වැඩි දෙනෙක් මාවනැල්ලෙන් සහ කුරුණෑගලින් සහරාන්ට එක්වූවෝ බවද හඳුනාගෙන ඇත.
තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්. පුහුණුව ලැබූවන් මෙන්ම අයි.එස් සම්බන්ධකම් සහරාන්ට ගොඩ නැඟුණු අයුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින්  හෙළි වී ඇත.

සහරාන් ඇතුළු අන්තවාදීන් දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරන විට සහරාන්ගේ බිරිය ෆාතිමා කාදියාත් කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරකයාගේ බිරිය සාරාත් සහරාන්ගේ සහෝදරියත් මවත් ඔවුන්ගේ කුඩා දරුවනුත් සමඟ රැඳී සිටින්නේ තිහාරියේය. ඔවුන් තිහාරියේ සැඟවෙන්නට යන්නේ ප්‍රහාර එල්ල කරන්නට දින දෙකකට පෙරය. ඒ කල් තියා සූදානම් කරගත් කාතන්කුඩියේ අයෙකුට අයත් වෑන් රථයක නැඟීය.
දින 10ක් තිස්සේ රට වටේම ඔවුන් කරක් ගසන්නේ එම වෑන් රථයේ නැඟීය. ගිරිඋල්ලේ සාප්පුවකින් රුපියල් 29000ක සුදු ඇඳුම් තොගයක් මිලදී ගන්නේද එම වෑන් රථයෙන්ම ගොසිනි. තිහාරියේ සිට කල්මුණේ ට ඔවුන් යන්නේ එදිනම රාත්‍රියේය.

සිය නායකයාගේ බිරිය ඇතුළු පවුලේ හිතවතුන් කල්මුණේට පැමිණෙන විට ඔවුන්ට සැඟවෙන්නට තැනක් සූදානම් කරන්නේ මොහොමඩ් නිපාස්ය. ඒ නින්දවූර් හි කුලියට ගත් නිවසයි. පසුව ඔවුන් සයින්දමරුදු සුනාමි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසට එන්නේ පසුගිය 26 වැනිදා සවසය. ඊට දින දෙක තුනකට පෙර රුපියල් 4000ක මාසික කුලියට ගෙන තිබිණි.
මොහොමඩ් නිපාස් සහරාන්ගේ සහෝදරයන් දෙදෙනාද පියාද සහෝදරියගේ සැමියාද ඇය සමඟ පැමිණි අය අතර සිටියහ. මලු කිහිපයක් අතින් ගත් ඔවුන් කෙළින්ම රිංගුවේ නිවස තුළටය. ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටි ගම්වැසියෙකුට ඔවුන්ගේ එම හැසිරීම ගැන ඇති වන්නේ සැකයකි.
එය දුරුකර ගන්නට ගම්වැසියා ඒ බව දැනුම් දෙන්නේ මාර්ගයේ ගමන්ගත් පොලිස් යතුරුපැදියක සිටි කොස්තාපල්වරයෙකුටය. ඒ අනුව එම සැකකටයුතු පුද්ගලයන් කවුරුන්දැයි සොයා බලන්නට නිවසට කිට්ටු කරන කොස්තාපල්වරයා දෙසට එකවරම එල්ල වන්නේ අත්බෝම්බ ප්‍රහාරයකි. ඒ නිවසේ වහලය මත රැකවල්ලාගෙන සිටි අන්තවාදීයෙකුගෙනි.

සීරීම් තුවාලයක්වත් නොමැතිව දිවි බේරෙන්නට තරම් කොස්තාපල්වරයා වාසනාවන්තයෙක් විය. තමන්ට එල්ල වුණු බෝම්බ ප්‍රහාරය ගැන ඒත් එක්කම ඔහු දැනුම් දෙන්නේ සිය උසස් නිලධාරීන්ටය. ඒ අනුව පොලිසියත් හමුදාවත් එම නිවස වටලන විට ඔවුහු හමුදාව සහ පොලිසිය සමග ගැටුණාහ. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවීම් කිහිපයක්ද සිදු විණි. පැයක් හමාරක් ගෙවී යන විට නිවසෙන් ඇසෙන්නේ පිපිරීම් තුනකි. එය අත්බෝම්බ පිපුරුමකට එහා ගිය පිපුරුම් හඬකි. පොලිසියත් හමුදාවත් එදා මුළු රැය පුරාම සයින්දුමරුදු ගම්මානයම සෝදිසියකට ලක් කළේය.

පිපිරුම් සිදු වුණු නිවසට ඇතුළු වන්නේ බිම් එළිය වැටුණු පසුවය.

එහිදී මුලින්ම හමුවන්නේ ටී 56 අවියක් අතැතිව ගේට්ටුව ඉදිරිපිටම මැරී වැටුණු අයෙකුගේ මළ සිරුරකි. ඔහු නිපාස්ය. කොස්තාපල්වරයාට බෝම්බ ගැසූ පුද්ගලයාද ඒ වන විටත් සිටියේ වහලය මත මැරී වැටීය. එක පොදියට කුඩා දරුවන්ද සමඟ පිරිසක් පිපුරුමකින් මියගොස් සිටි අයුරු පොලිසියත් හමුදාවත් දුටුවේ සාලයට පය තබන විටදීය. එතැන 14 දෙනෙකුගේ මළ සිරුරු වැටී තිබිණි. ඇතැම් මළ සිරුරු හඳුනාගන්නට බැරි තරමට විරූපි වී තිබිණි. සිරුරු කැබලි හැම අත විසි විසිරිලාය. ඒ අය අතර සහරාන්ගේ සහෝදරයන් දෙදෙනා වන මොහොමඩ් සෙයින් හසීම්ගේත් මොහොමඩ් රිල්වාන් හසීම්ගේත් ඔවුන්ගේ පියාගේත් සිරුරු විය. රෝ ඔත්තුවේ සඳහන් මරාගෙන මැරෙන ප්‍රහරකයන්ගේ නම් ලැයිස්තුවේද රිල්වාගේ නමද සටහන් වී තිබිණි.

මේ අයට අමතරව සහරාන්ගේ බාල නැඟණිය මොහොමද් සයිරා හසීම්ගේද ඇගේ සැමියා වන මොහොමඩ් රිෂාද්ගේද මළසිරුරුද සාරාගේ සිරුරද සාලයේ මැරී සිටියවුන් අතර විය. එම මළසිරුරු පරීක්ෂා කරමින් සිටි පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ට වේදනාවෙන් කෙඳිරිගාමින් සිටින කාන්තාවකගේත් දරුවකුගේ හැඬුමක් ඇසෙන්නට විය.
ඒ හඬ ඇසෙන්නට වූයේ නිවසේ කාමරයකිනි. එහි කාන්තාවක සහ දරුවෙකු සිටින්නේ පිපුරුමෙන් තුවාල ලබාය. ඒ දෙදෙනා ගිලන් රථ දෙකකින් වහාම රැගෙන යන්නේ අම්පාර රෝහලයට. ඒ වෙන කිසිවෙකු නොව, සහරාන්ගේ බිරිය සහ දරුවාය. ඒ වන විටත් සහරාන්ගේ අට හැවිරිදි වැඩිමහල් දරුවා ඇතුළු දරුවන් හය දෙනෙකු සිටියේ පිපිරුම්වලට ලක්ව මෙලොව අතහැර ගොසිනි.

කල්මුනේ සයින්දුමරුදු ගැටුමෙන් පසු එම ස්ථානයේ ඡායාරූප ගොන්නක්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට ගන්නේ ඉතා වේගයෙනි. පිපිරුම සිදුවූ නිවසේත් මිය ගිය පුද්ගලයන්ගේත් ඡායාරූප ඒ අතර විය. ඒ එක් ඡායාරූපයක මළමිනී අතර ඇති ඉටි බෑගයක් කෙරෙහි එක්තරා පුද්ගලයෙකුගේ විශේෂ අවධානයක් යොමුවූයේය. එය එම පුද්ගලයා හොඳින් දන්නා හඳුනන අයෙකු කළමනාකරු ලෙස සේවයේ නිරතව සිටින ගිරිඋල්ලේ පිහිටි රෙදි සාප්පුවකට අයත් බෑගයකි. වහාම ඔහු කළමනාකරුට ඇමතුමක් ගත්තේය. එකී ඡායාරූපය ගැන ඔහුට කීවේය.

ඒත් එක්කම කළමනාකාරු ක්‍රියාත්මක විය. සිය ආයතනයේ ආරක්ෂක කැමරා දර්ශන දින කිහිපයක් තිස්සේ ආ පස්සට පරීක්ෂා කළේය. 19 වැනිදා ඔහුගේ සාප්පුවට බුර්කාවලින් සැරසුණු කාන්තාවන් කිහිප දෙනෙකු පැමිණ භාණ්ඩ මිලදී ගන්නා බවත් ඔහුට එහිදී නිරීක්ෂණය විය. එම කාන්තාවන් මිලදී ගත්තේ මොනවාදැයි ඔහු පරීක්ෂා කළේය.

එහිදී පෙනී යන්නේ රුපියල් 29000ක සුදු පැහැති බ්ලවුස්, ස්කර්ට්, බ්‍රෙසියර් ආදිය සෑම එකකින්ම 09 බැගින් මිලදී ගෙන ඇති බවය. ඊට අමතරව සෙල්ලම් බඩු දෙකක්ද මිලටගෙන තිබිණි. ඔවුන් එහි පැමිණ ඇත්තේ වෑන් රථයකින් බවද කළමනාකරු ආරක්ෂක කැමරා මඟින් අනාවරණය කරගත්තේය. පසුව ඒ බව ඔහු පොලිසිය දැනුවත් කළේය. එම සුදු ඇදුම් කෙරහි කොයි කාගේත් අවධානය යොමු වන්නේ ඒත් සමඟිනි. එම සුදු ඇදුම් කට්ටල 09න් සයින්දුමරුදු නිවසේ තිබෙන්නේ සුදු ඇඳුම් කට්ටල 07ක් පමණි. සෙසු ඇදුම් දෙකට වූයේ කුමක්දැයි මෙතෙක් ඇත්තේ අබිරහසකි.

එම සුදු ඇදුම් ඔවුන් මිලදී ගත්තේ ඇයි දැයි සමාජයේ මේ වන විට ඇත්තේ කුකුසකි. ඊට පිළිතුරු දීමට දැන් ඉතිරිව සිටින්නේ එක් අයෙක් පමණි. ඒ සුදු ඇදුම් මිලදී ගැනීමට ගිරිඋල්ලේ සාප්පුවට ගිය කාන්තාවන් තිදෙනා අතර සිටි සහරාන්ගේ බිරිය පමණි. අම්පාර රෝහලේ දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව සිටින ඇය ඒ ගැන පවසන්නේ සුදු ඇදුම් මිලදී ගත්තේ ඇයි දැයි තමන්ද නොදන්නා බවයි. එම සුදු ඇදුම් මිලදී ගෙන ඇත්තේ දෙවැනි ප්‍රහාරයට සූදානමින් සිටි පුලස්ති රාජේන්ද්‍රන් හෙවත් සාරාය. “ඉස්සරහට ඕනෙ වෙයි. ඒකයි ගත්තේ“ ඒ ගැන විමසූ විට සාරා පැවසූවා යැයි සහරාන්ගේ බිරිය ෆාතිමා පවසා තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු බියට පත් වන එඩේරමුල්ලේ නිවසේ රැඳී සිටි අය එදින රාත්‍රීයේදීම නිවස අතහැර පලා ගියහ. මොහොමඩ් ඉර්ෂාඩ් සැඟවෙන්නේ උලපනේ පිහිටි සිය නිවසේමය. මොහොමඩ් රනීස් සහ මොහොමඩ් නෞෆර් පැන යන්නේ මඩකලපුවටය. 21 වැනිදා රාත්‍රියේ දඹුල්ල පොලිසියට ඔවුන් කොටු වන්නේ ඒ යන ගමනේදීය.

සාදික් සිය බිරියත් සහෝදරයාත් සමඟ පනින්නේ නුවරඑළිය පැත්තටය. ඔවුහු රැවුල් කොණ්ඩය කපා සිංහල වෙස් ගෙන තෙරුවන් සරණයි යැයි ඇලවූ ස්ටිකරයක් සහිත වෑන් රථයකින් රට පුරාම කරක් ගැසුවෝය. අවසානයේදී ඔහු සිය බිරිය මාවනැල්ලෙන් අතහැර යන්නේ වෙන කරන්නට දෙයක් නැතිම තැනය. ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයෝ ඇය අත්අඩංගුවට ගත්හ.

සාදික් සහ සාහිඩ් යන සාහෝදරයන් දෙදෙනා පොලිසියට කොටු වන්නේ ඊට දින කිහිපයකට පසුවය. ඒ ඔවුන්ගේ ඥාතියෙකුට අයත් ගම්පොළ පිහිටි පාවහන් වෙළසලක සැඟ වී සිටියදීය.

“සහරාන් කරන්න යන්නේ මෙච්චර ලොකු වැඩක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒක දැනගත්තම අපි බය වුණා. ඒකට අපි විරුද්ධ වුණා. අපේ ආගමේ සියදිවි හානි කරගන්න කියලා නැහැ.“ ප්‍රශ්න කිරීම් හසුවේ සාදික් පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබුණේය.