අධිකරණයේ රැඳවුම් නියෝග මත සිටින ජාතික තව්හීදී ජමාත් සංවිධානයේ සැකකරුවෙකු නිදහස් කර ගැනීම  සදහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබා දීමට යම් පුද්ගලයකු ඊයේ (8) උත්සහ දරා තිබේ. අප්‍රේල් මස 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කළ හොරොව්පතාන පොලිස් ස්ථානයේ
නිලධාරීන් විසින් අප්‍රේල් මස 28 වැනි දින ත්‍රස්තවාදීන්ට සහාය ලබා දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන  තිබේ. සැකකරු දින 3ක් රදවා තබා ගෙන විමර්ශන සිදු කර පසුව මැයි 1වැනි දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 14
වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුට ඇප දීමට විරුද්ධ නොවන ලෙසට ඉල්ලා සැකකරුගේ ඥාතියෙකු වන හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමට උත්සාහ කර තිබේ. ඒ අනුව රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ඊයේ  (08) උදෑසන පොලිස් ස්ථානයේදී ලබා දීමට යෑමේදී මෙම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් ඥාතියාට ඇප ලැබීමෙන් අනතුරුව සම්පුර්ණ මුදල ලබා දෙන බව පොලිස් ස්ථානාධිපතිවරයාට පවසා සැකකරු එම මුදලෙන් කොටසක් එසේ රැගෙන විත් ඇති අතර, පොලිස් ස්ථානාධිපතිවරයා කල්තියා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ නිලධාරින් දැනුවත් කිරීම නිසා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

-දිනුක මලින්ද හේරත්-