වැල්ලවාය ජේ.එම්. කුමාරදාස විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ එහි ගුරු මණ්ඩලය ඇතුළු සෙසු පිරිස් නොමග යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි 11 ශ්‍රේණියේ සිසුන් හයදෙනකු ඊයේ (08)දා අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.

එම විද්‍යාලයේ විදුහල්පති
ශාන්ත බණ්ඩාර මහතා පාසල අවට නිරීක්ෂණයක යෙදී සිටියදී පාසලේ ආරක්ෂිත තාප්පය ආසන්නයේ තිබූ සැකකටයුතු පාර්සලයක් දැක ඒ ආසන්නයේ පන්ති කාමරවල සිටි සිසුන්  ඉවත් කර ගුරු මණ්ඩලයද ඈත්කර පාසල් ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා මෙන්ම වැල්ලවාය. පොලිස් ස්ථානාධිපතිවරයාද දැනුවත් කර තිබේ .

 ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරින් දැනුවත් කර යුද හමුදාව කැඳවා මෙම සැකකටයුතු පාර්සලය සම්බන්ධයෙන් පරීක්ෂාකර ඇත.  එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පාර්සලයේ සූක්ෂමව ඔතන ලද ගඩොල් කැටයක් ඇති බවයි.

ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ විදුහල්පතිවරයා පාසල තුළ මෙවන් තත්වයක් ඇතිකළ සැකකාර සිසුන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් වැල්ලවාය පොලීසියට ඉදිරිපත්කර තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් සැකකාර සිසුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරිකෂක සී.පි. ගුණසේකර මහතා පැවසීය.