මන්නාරම, තාරාපුරම්හි පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙස ආරක්ෂක අංශ විසින් ඊයේ (6) උදේ විශේෂ සෝදිසියකට භාජන කළ බව යුද හමුදාව කියයි.

තාරාපුරම්හි තුර්කි නගර් නමැති නම් මුස්ලිම්
ගම්මානයද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණි.

උදෑසන 06.00 සිට දහවල් 1.00 දක්වා මෙම ප්‍රදේශයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමට යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වී තිබිණි.  රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරපුරම් නිවස පැය කිහිපයක් විශේෂ සෝදිසියකට ලක් කළ බවත් සැකකටයුතු කිසිවක් එහි තිබී හමුනොවූ බවත් යුද හමුදාව කියයි.

තුර්කි නගර්හි නිවාස සෝදිසි කිරීමේදී කිණිසි කිහිපයක් සොයාගත් අතර ඒවා වැඩිදුර පරීක්‍ෂණ  සදහා මන්නාරම පොලීසියට බාරදී ඇත.

යුද හමුදාව පැවසුයේ තුර්කි නගර්හි සහ  තාරාපුරම්හි නිවාස 150 කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනයේ විශේෂ සෝදිසියකට ලක් කළ බවය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ වන විට විදේශගතව සිටින අතර ඔහුගේ නිවෙස සෝදිසි කළ අවස්ථාවේදී එහි සිට ඇත්තේ සේවකයින් කිහිප දෙනකු පමණක් බව යුද හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ.