මද්‍රාසා අධාපන ආයතන නියාමනය කිරීම සඳහා කඩිනමින් නීතියක් සම්මත කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්. ඒ. හලීම් මහතා වෙත උපදෙස් දී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය පරිදි සකස් කරන ලද දළපනත්
කෙටුම්පත පිළිබඳව නීති කෙටුම්පත්
දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අද (7) පැවැත්වෙන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දී ඇත.

මද්‍රාසා ආගමික පාසල් නියාමනය කිරීම සඳහා තැපැල්, තැපැල්  සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු ආයතනයකට නීතිමය බලතල නොමැත. දැනට මෙම මද්‍රාසා පාසල් පවත්වා ගෙන යනු ලබන්නේ පෞද්ගලික මට්ටමෙන් වන අතර වර්තමානයේ උද්ගත වී ඇති තත්වය අනුව එම ආයතන නියාමනය කිරීම සදහා වෙනමම නීතියක් සකස් කළ යුතුය. මේ සම්බන්ධයෙන් තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවකට අනුමැතියද හිමිව තිබේ.

ඉන්දියාව, බංගලාදේශය ආදී රටවල මද්‍රාසා ආයතන නියාමනය කිරීම සදහා පනවා ඇති නීති මෙන්ම ශ්‍රී ලංකෑවේ පිරිවෙන් අධ්‍යාපන පනතද නිරීක්ෂණය කරමින් සකස් කර ඇති මෙම දළ කෙටුම්පත මගින් මද්‍රාසා පාසල්හි විෂය නිර්දේශය සම්බන්ධයෙන්  පොදු නියාමනයක් සහ ක්‍රමවේදයක් ඇති කෙරේ.