පාස්කු ඉරු දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි  මුනිදුන්ගේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලවදීන් අහමඩ් මුවාත් නැමති බෝම්බකරුගේ සහෝදරවරු දෙදෙනෙකු සහ 
සහෝදරීයක ඊයේ (23) දින නිරීක්ෂණය සදහා
රහස් පොලිසිය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය, කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානය තුළ සිදු කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන
බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තිදෙනා රඳවාගෙන පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය දන්වා තිබේ. මෙම සැකකරුවන් තිදෙනා නිරික්ෂණය සඳහා නැවත ජූනි මස 27 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, පරික්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසද රහස් පොලිසියට නියෝග කළාය.