මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිර ගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා ඊයේ (23දා) සවස අනුරාධපුර
නගරයේ පාසල් අසල දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති වූ අතර දරුවන් නිවෙස් කරා රැගෙන යෑමට එකවර මවුපියන් විශාල පිරිසක් පැමිණීමෙන් පාසල් අසල දැඩි කලබලකාරී තත්ත්ව යක් ඇති විය.

අනුරාධපුර ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලය, අනුරාධපුර කේ.බී. රත්නායක මිශ්‍ර පාසල හා අනුරාධපුර
ජනාධිපති මිශ්‍ර පාසල ඉලක්ක කර පාසල් අවසන් වනවාත් සමගම ප්‍රහාරය එල්ල කිරීම සිදුවන බවට අසත්‍ය ඇමතුමක් ලැබීමත් සමඟ මවුපියන් විශාල වශයෙන් පාසල අසලට රැස්වී සිය දරුවා ආරක්ෂිතව රැගෙන යෑමට උත්සාහයක නිරත විය. ප්‍රාථමික ශ්‍රේණි කිහිපයක පාසල් අවසන් වන වෙලාව වූ සවස 1.15 වූ අතර ඊට පෙර විද්‍යාලයන්හි අධ්‍යපන කටයුතු හදිසියේ අවසන් කර මවුපියන්ට දරුවන් ලබාදීමට විද්‍යාලවල බලධාරීහු කටයුතු කළහ.

මෙම දුරකථන ඇමතුමක් සමහ අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්. සංජීව මහානාම මහතා ඇතුළු උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් වහාම පාසල් අසලට ගොස් දරුවන්ට අවශ්‍ය ආක්ෂාව සැලසීමට කටයුතු කළහ. එහෙත් එවැනි සිදුවීමක් සිදුවීමට කිසිදු ඉඩකඩක් නැති බව අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් අධිකාරිවරයා අසත්‍ය දුරකථන ඇමතුම් දෙන පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කිසිම සමාවක් නෑ විමර්ශන සිදු කරලා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම  අනිවාර්යයෙන්ම සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේය.

-මහේෂ් විජේසුරිය-