ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය කිරීම සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ජනාධිපති ත්‍රෛීපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතනවලින්  ඉල්ලීමක් කර තිබේ.


එමෙන් ම ආරක්ෂක මෙහෙයුම් සිදුකරන අවස්ථාවල දී මාධ්‍යවේදීන් හෝ වෙනත් කිසිඳු බාහිර පාර්ශ්වයන් ඒ සඳහා සහභාගි කර නොගන්නා ලෙස සියලූ ම ආරක්ෂක අංශවලට ජනාධිපතිවරයා විසින් පැහැදිලි උපදෙස් ලබා දී ඇති බවද ජානාධිපති මාධ්‍ය අංශය විසින් කළ නිවේදනයේ සඳහන් වේ.

පාස්කු ඉරිදා දින සිදු වූ අනපේක්ෂිත හා
අවාසනාවන්ත සිදුවීමෙන් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක ය.

ඒ යටතේ  විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන අතර නිවාස, පොදු ස්ථාන සහ රථ වාහන පරික්ෂාවට ලක් කෙරේ.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන පරික්ෂණ කටයුතුවල රූප රාමු මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් ඇතැම් අවස්ථාවල ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති පිරිස් ද ඊට සම්බන්ධ බවට අදහසක් සමාජය තුළ ඇතිවීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

මේ පිළිබඳ ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශ්ව ජනාධිපතිවරයා වෙතින් අවස්ථා කිහිපයක දී ඉල්ලීම් සිදු කර තිබෙන අතර, එම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සහ සමාජයේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබමින් විමර්ශන කටයුතුවලට අදාළ මාධ්‍ය ප්‍රචාරය ලබාදෙන ලෙස රජය සියලූ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.