පාස්කු ඉරු දින ප‍්‍රහාරයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන්ට අයත් රුපියල් කෝටි 14 ක මුදල් ඇතුළු රුපියල් කෝටි 314 ක වත්කම් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව තොරතුරු අනාවරණය
කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකෙ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවැසිය.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් මෙම දේපළ හා මුදල් අතුරින් වැඩි ප්‍රමාණයක්  කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගනිමින් ජීවිතක්‍ෂයට පත්වූ තවුහිත් ජමාත් සංවිධානයේ නායක
මොහොමඩ් සහරාන් සහ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සා අහමඩ් යන දෙදෙනාට අයත් ඒවා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ බෝම්බ පිපිරවීම්වලදී මරාගෙන මැරෙන බෝම්බකරුවෝ නවදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සොයාගනු ලැබූ මෙම මුදලින් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ තිබෙන අතර තවත් කොටසක් බෝම්බකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබෙන බව පොලිසිය පවසයි.

බෝම්බකරුවන්ගේ මෙම දේපළ තහනම් කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  මෙම දේපළ අතර ඉඩම්, නිවාස, කර්මාන්තශාලා,වාහන, රන් බඩු සහ මැණික් ද වන බව ඔහු කීය. මෙම අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 73 දෙනකු මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ සිටින බවත් ඉන් 9 දෙනෙකු කාන්තාවන් බවත් පොලිස් මූලස්ථානය පවසයි.

මේ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සැකකරුවෝ 54 දෙනෙක් ද ත්‍රස්තවාදී විමර්ශන අංශය බාරයේ සැකකරුවෝ 10 දෙනෙක් ද සිටිති.