හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) අවසර ලබා දී තිබේ

ඒ සඳහා දැනට අධිකරණය මගින්
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පණවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඔහුගේ නීතීඥයාවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරු විසින් ඉල්ලා සිටින කාලසීමාව තුළ ඔහුට සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවසර ලබාදී ඇති අතර දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත මුදා හරින මෙන්ද නියෝග කර තිබේ.

ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.