කොල්ලුපිටිය මුහුදු මාවතේ මැණික් හා රන් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ පනහක දියමන්තියක් සොරාගෙන මෙරටින් පලා යෑමට උත්සාහ කළ චීන ජාතිකයෙකු පැය දෙකහමාරක කාලයක් තුළදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 30 වැනි දින මෙරටට පැමිණ තිබු සැකකාර චීන ජාතිකයා දියමන්තිය මිලදී ගැනීමේ මුවාවෙන් මැණික් හා රන් අලෙවි සැලට ගොස් ඉතා සූක්ෂම අයුරින් ඔහු සන්තකයේ තිබූ දියමන්තිය හා සමාන හැඩැති වීදුරු කැබැල්ලක් සේවකයා අතට පත්කර දියමන්තිය සොරාගෙන ඇති බව පොලීසිය පවසයි.  ඔහු එම සොරකම සිදුකරන අයුරු අලෙවි සැලෙහි සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරාවේද සටහන් ව තිබු බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරු මෙරටින් පිටවීමට නියමිතව තිබී ඇත්තේ අද (03දා) බවත්, ඔහු ඊයේ (02දා) මෙරටින් පිටවී යාමට උත්සාහ දරා ඇති බවත් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.