ප්‍රහාර එල්ල කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය සවිකළ වාහන 20ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත ලැබුන තොරතුරු අනුව උතුරු පළාතට ඇතුළුවන සහ පිටවන සියලු වාහන දැඩි පරික්ෂාවට ලක්කරන බව හමුදාව පවසයි.

මෙම වාහනවලින් බොහොමයක්
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියකුගේ නමින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවැසීය.

මෙම වාහන 20ට යතුරු පැදි 12ක්, වෑන් රථ දෙකක්,  කැබ් රථ දෙකක්, ත්‍රිරෝද රථයක්, ඩීමෝ බට්ටා ලොරියක් සහ මෝටර් රථ දෙකක්ද ඇතුළත් බව එම හමුදා නිලධාරියා කීය.

මෙම වාහන අත්අඩංගුවට ගැනීම සඳහා පවතින මාර්ග බාධකවලට අමතරව විශේෂ මාර්ග බාධක හතරක් ස්ථාපිත කර ඇති බවද එම උසස් හමුදා නිලධාරියා පැවසීය.

වවුනියාව නගරයේ, හොරොව්පතාන මාර්ගයේ, තාණ්ඩිකුලම් හා ඉරට්ටපෙරියකුලම් යන ප‍්‍රදේශවල මෙම අතිරේක මාර්ග බාධක ස්ථාපිත කර ඇති බව හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම සැකකටයුතු වාහන විස්සේ අංක සඳහන් දැන්වීම් මහජනයාට දැනගැනීම පිණිස මාර්ග බාධක රැසක ප්‍රදර්ශනය කර ඇති බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.