අසත්‍ය ප්‍රචාර අන්තර් ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහසොන් බලකායේ අමිත් ජීවන් වීරසිංහ ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලණි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පසුගිය 21 වන දා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව ජාතීන් සහ ආගම් අතර පවතින සංහිඳියාව බිඳී යන ආකාරයේ ප්‍රචාර අන්තර් ජාලය වෙත මුදා නොහරින ලෙසට දැනුම් දී තිබියදී, සැකකරු එම උපදෙස් නොතකා හැර ඇතැයි විමර්ශන සිදුකරන කොළඹ දකුණු කොට්ඨාස දුෂණ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඔවුන් අධිකරණයට පැවසුවේ, අමිත් වීරසිංහ 2018 වසරේ අගෝස්තු 05 වන දා එක්තරා විද්‍යුත් මාධ්‍යයකට ලබාදී තිබූ ප්‍රකාශයක් යළි අන්තර් ජාලයට මුදා හැර තිබූ බවයි.

පසුගිය 21දා සිද්ධියෙන් පසු සැකකරුගේ නිවසට පුද්ගලයින් 7 , 8 දෙනා කැඳවා සාකච්ඡා පවත්වා ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඔවුන් සඳහන් කළේ, එම සාකච්ඡා අනුව මිනුවන්ගොඩ,  වාරියපොළ, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී තිබේ ද යන්න විමර්ශන කරන බවයි.

රාජගිරියේ පදිංචිකරුවෙකු වන පරාක්‍රම බණ්ඩාර නිරිඇල්ල මහතා කළ පැමිණිල්ලක් අනුව අමිත් වීරසිංහට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ හදිසි නීතිය පවතින අවස්ථාවේ වට්ස්අප් , ඉමෝ තාක්ෂණය භාවිත කර අමිත් වීරසිංහ අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවයි.

මේ අතර කලහකාරි ලෙස හැසිරී ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 13 වැනිදා අලුයම 2.30 ට පමණ සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසට තවත් දෙදෙනෙකු සමග ගොස් බැන වැදී බිය ගැන්වීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එම චෝදනාව සමථ මණ්ඩලයට යොමු කළ හැකි බැවින් ඕනෑම ඇප කෝන්දේසියක් යටතේ ඔහු මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඇප ලබාදිය හැකි වරදක් බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.