https://www.gossiplankanews.com/2019/05/chithra-wakishta-passed-away.html#more
ප්‍රවිණ රංගන ශිල්පිණී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) දින සිය දිවියෙන් සමුගත්තාය. මියයන විට 83 වැනි වියේ පසුවූ ඇය කලක් රෝගාතුරව කල් ගත කර තිබුණි. ඇය කෝපි කඩේ ටෙලි නාට්‍යයේ
මුල සිටම රංගනයට එක්වූ අතර අවසන් කාලයේත් සොමි නෝනා ලෙස එහි රංගනය අතහැරියේ නැත.
ගුවන් විදුලිය, සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන සිව්මාධ්‍යයන්ගෙන් චිත්‍රා දස්කම් දක්වා තිබේ.
ගුවන් විදුලියේ එකල ඉතාම ප්‍රසිද්ධ නාට්‍ය දෙකක් වූ මුවන්පැළැස්සහි කිරිඅම්මා සහ වජිරා හි වජිරාගේ මවට හඬකැව්වේද ඇයයි.


සිරිසේන විමලවීරගේ පොඩිපුතා, සිරකරුවා, නාරිලතා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත, යුගාන්තය, සීතල වතුර, රෑනගිරව්, සුහදපැතුම, මීමැස්සෝ, ගැහැනු ළමයි, පරසතුමල්, හිතහොඳ චණ්ඩියා, චිත්‍රා රංගනයෙන් දායක වූ සිනමාපට කිහිපයකි.
ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍යය වන දිමුතු මුතු ටෙලිනාට්‍යයේද ඇය රඟපෑ අතර විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක රංගනයට එක්ව තිබේ.‍

ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ චිත්‍රා මහත්මියගේ එක් පුතෙකි.

දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.