කොළඹ නගරාධිපති නිල නිවෙසහි හදිසි අලුත්වැඩියාවන් සඳහා ඉකුත් වසර දෙක තුළ නගර සභා බදු මුදල් රුපියල් කෝටි 6කට වැඩියෙන් වැයකර ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ පෞරාණික බවට හානිවන අයුරින් ආරක්‍ෂක හේතුන් මත
කියමින් ඒ වටා තිබූ කෙටි ආරක්ෂක තාප්පය උස්කර තිබේ.

මෙම නිල නිවෙස නගරාධිපතිවරු 10 දෙනකු පමණ පරිහරණය කර ඇතත් මේ තරම් විශාල මුදලක් මිට පෙර වැයකර නැතැයිද දැනගන්නට තිබේ.

අවසන්වරට එහි විසු හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා එහි සුළු ප්‍රතිසංස්කරණයක් සිදුකර තිබුණු අතර ඊට වැසිකිළි පද්ධතිය ද ඇතුළත් කර ඇතැයිද මන්ත්‍රිවරු සඳහන් කරයි.

එහෙත් නව නගරාධිපතිනිය පත්වූ පසුව වසර දෙකක් තිස්සේම මෙම ගොඩනැගිල්ලේ වැසිකිළි 7ක් නවීකරණය සඳහා භාණ්ඩවලට රුපියල් ලක්‍ෂ 57ක්
වැයකළ බවට ජවිපෙ මන්ත්‍රී සුමින් පස්සපෙරුම මහතා චෝදනා කළේය. මම වනවිට ඒ සඳහා වැයකර ඇති මුළු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බව නිලධාරීහු පවසති.

 මීට අමතරව සීසීටීවී කැමරා 17ක්, වායු සමීකරණ යන්ත්‍රයක්, රෙදි සෝදන යන්ත්‍ර,රෙදි වේලන යන්ත්‍ර, අවන්, ශීතකරණ, විදුලි  පංකා ඇතුළු විදුලි උපකරණ ද මුළුතැන්ගෙට පීරිසි 200 ක් කෝප්ප 200ක්ද, මිලදී ගැනීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.

 මෙම නිල නිවෙසේ පිරිසුදු කිරීම් කටයුතු පෞද්ගලික සමාගමක් විසින් කොන්ත්‍රාත් පදනම යටතේ  සිදුකරන බවද ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂයක් පමණ නගර සභාව වැයකරන බවද පැවැසේ.

මේ පිළිබඳව නරගාධිපතිනියගෙන් විමසූවිට කීවේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ප්‍රාදේශීය නියෝජිතයන් රැසක් නගර සභාවට පැමිණෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව මෙන්ම සුව පහසුව සඳහා අවශ්‍ය පරිදි  නිල නිවෙස සකස්කරන බවය.

තමන්ට ද සියලු පහසුකම් සහිත පෞද්ගලික නිවෙසක් ඇති බවද මෙම නිල නිවස කිසි විටෙකත් පරිහරණය නොකරන බව ද ඇය කීවාය.